STF වෙඩි පහරින් පාතාල සාමාජිකයකු මරුට

STF වෙඩි පහරින් පාතාල සාමාජිකයකු මරුට

මිනුවන්ගොඩ, හොරම්පැල්ල, මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවද මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. රෝහල් ගත කරන විටත් සැකකරු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු ඩුබායි හි සැඟවී සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල නායකයකුගේ වෙඩික්කරුවකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.

පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටින සැකකාර පාතාල සාමාජිකයා භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවිය සැකකරුට වෙඩි වැදී සිටි ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය, ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (සොකෝ ) සමග එක්ව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This