ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් අද

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) කැඳවා තිබේ.

කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ය.

එම රැස්වීමේදී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතයි.

එසේම පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, ඔහු කැඳවා ඇති දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි බවයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන දේශපාලන මණ්ඩල රැස්වීම අද පැවැත්වෙන බවයි.

මේ අතර පුද්ගලයින් තුන් දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුරැ රැගෙන ගොස් ඇති බවත් ඔවුන් යතුරු යළි රැගෙන එන තෙක් එම කාර්යාලය විවෘත කිරීමට නොහැකිවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම කාර්යාලය ආශ්‍රිතව ආරක්ෂාව තරකර ඇති බවයි.