IMF දෙවැනි වාරිකය පමාවෙන ලකුණු

IMF දෙවැනි වාරිකය පමාවෙන ලකුණු

මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුවද තවත් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසනවා.

සිය මෙරට සංචාරය අවසන් කරමින් එම නියෝජිතයින් පිරිස අද (27) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Peter Breuer මහතා පැවසුවේ, අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බවයි.

කෙසේවෙතත්, පසුගිය මාස කිහිපය තුළ සංචිතවල වටිනාකම ඉහළ යාමේ මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන්ද IMF නියෝජිතයින් එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

මේ අතර සිදුකළ පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට කාලය අවශ්‍ය බව සඳහන් කළ එම නියෝජිත පිරිස, මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වනු ඇති බවට අනුමාන කරන බවත් සඳහන් කළා.