කුමාර ධර්මසේන ඉඩමකට ඇතුළු වී වෙඩි තැබූ බවට කරුණු අනාවරණය වන්නේ නෑ

කුමාර ධර්මසේන ඉඩමකට ඇතුළු වී වෙඩි තැබූ බවට කරුණු අනාවරණය වන්නේ නෑ

පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා හැව්ලොක් ටවුන් ඉසිපතනාරාම මාවතේ පිහිටි ඉඩමකට අයුතුව ඇතුළු වී වෙඩි තැබූ බවට කරුණු අනාවරණය නොවන්නේ යැයි නාරාහේන්පිට පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත ඊයේ (02) කරුණු දැක්වීය.

පිස්තෝලය පෙන්වා තර්ජනය කර ඉඩමකට අයුතු ඇතුළු වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවක් කැඳවූ අවස්ථාවේදී පොලිසිය වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මේ බව සඳහන් කළේය.

සිද්ධියට අදාළව කුමාර ධර්මසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවත් තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් ඔවුන් පදිංචි ස්ථාන සොයාගැනීමට නොහැකි වූ බවටත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

තවද සීසීටීවී පරීක්ෂා කළ ද එහි කිසිදු කරුණක් සටහන් නොවන බව පැවසූ පොලිසිය කුමාර යැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධ කරුණු පැවසුවත් කුමාර ධර්මසේන යන බවට හඳුනාගත් සාක්ෂි නොමැති බවට අධිකරණය හමුවේ පැවසීය.

පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ කුමාර ධර්මසේන, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ දුෂාන්ති ධර්මසේන, විධායක අධ්‍යක්ෂ කවිෂ්ක ධර්මසේන, අධ්‍යක්ෂ අශල්‍යා ධර්මසේන, අධ්‍යක්ෂ අමන්‍යා ධර්මසේන, ගිණුම් කළමනාකාර උදාර ෂලින් කරුණාරත්න, පින්තැන්න ඩවුමි ඔයිල් පුද්ගලික සමාගමේ මනහර, චමෝද් හා ප්‍රධාන කළමනාකරු කිත්සිරි, නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු වගඋත්තරකරුවන් දොළොස් දෙනා අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ ගොනු කළහ.

ව්‍යාපාරික වර්ණකුලසූරිය ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු යන අය විසින් අධිකරණයට ගොනු කරන ලද පෙත්සමකට අදාළව මෙම දිවුරුම් ප්‍රකාශ ගොනු කෙරිණ.

Share This