පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්

පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බවයි.

මූලික සොයාගැනීම්වලින් පෙනීගොස් ඇත්තේ ගුවන් හමුදා කෝප්‍රල් සහ මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි.

ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසියේ තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා සිද්ධිය වන අවස්ථාවේ රාජකාරියෙන් බැහැරව සිට ඇත.

සාපරාධී ක්‍රියාවලට තම සෙබළුන්ගේ සම්බන්ධයක් ඇත්නම් එය බරපතළ ලෙස සළකන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමක් අතරතුර මුරපොළක නතර කරන ලෙස කළ නියෝගයක් ඔහු නොසළකා හැර ඇති බව වාර්තා වේ.

මේ පුද්ගලයා අදාළ සිද්ධිය වන අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයා පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි.

අනතුරුව පොලිසිය විසින් නැවත වෙඩි තැබීමත් සමඟ යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

Share This