මෝඩ සජිත් – කපටි ඩලස් සහ ප්ලේන්ටි නාමල්

මෝඩ සජිත් – කපටි ඩලස් සහ ප්ලේන්ටි නාමල්

පහුගිය සතියේ කථානායකට එරෙහි විශ්වාසභංගය අවසානයේ ජෝක් එකක් වී අවසන් විය. අන්තිමේදී යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි.

ඒකෙන් මේකෙන් වුණේ යන එනමං නැතිව හිටි කථානායකට අලුත් ලයිසන් එකක් දුන්නා හා සමාන වැඩකි. ඒ මදිවාට කථානායක ඡන්දෙන් පස්සේ හෙණ ගැම්මෙන් ඇවිත් පුටුවේ වාඩි වී සත්තම් ලීලාවෙන් බර කථාවක්ද කළේය.

යන්තම්වත් කුණක් ඇඟේ නොගෑවෙන සේ තමන්ව හොඳම එකෙන් හෝදාගත්තේය.

ඇත්තටම ඒකෙන් වෙච්ච දෙයක් නැත. අර කවුදෝ කීවාක් මෙන් රටේ සල්ලි මිලියන 45ක් අපතේ යවමින් දවස් තුනක් නාස්ති කළා පමණි.

නමුත් එයින් සිද්ධ වුණු දේවල් නම් දෙකක් තිබේ. එකක් නම්, යන්තමින් ගැට්ටේ එල්ලී සිටි කථානායක දැන් සෑහෙන පවර්ෆුල් මිනිහෙක් වීම ය.

ඒ නිසාම දැන් ඉස්සරහට කථානායකව විවේචනය කරන්නට පවා නොහැකි වනු ඇත. “මට විශ්වාසභංග ගෙනල්ලාත් පරද්දන්න බැරිවුණ එකේ ඔය කතා නම් මොනවාදැ”යි ඔහු ඇසුවහොත් ඉතිං විවේචනය කරන එකා අනාථ ය.

අනෙක් කාරණය නම් විපක්ෂනායකවරයා තමන් කෙතරම් දුර්වලදැයි යළි යළිත් ඔප්පු කර පෙන්වීමයි.

මොන තරම් සාධාරණ හේතු තිබුණද, කරන්නට වැඩක් නැති නිසා ගෙනා විශ්වාසභංගයක් බවට මේක පත්වූයේ විපක්ෂනායක සජිත්ගේ දුර්වලකම නිසා බව අපට පෙනෙයි.

එහෙව් තත්ත්වයක මුළු රටේම පාලන බලය තමන්ට දෙන්නැයි ඔහු ඉල්ලන එකේ තේරුම අපට තේරෙන්නේ නැත.

විශ්වාසභංගයක් හරියට මෙහෙයවාගන්නට බැරි සජිත් ජනාධිපති කළහොත් ගෝඨා කොච්චර සෝක්දැයි ජනතාව අනිවාර්වාර්යයෙන්ම අසනු නියත ය.

ඒ නිසා එක්කෝ බස් බෙදමින්, පෙට්ටි ගෙවල් හදමින්, පාසල් ළමයින් සමග ක්‍රිකට් ගසමින් හෝ තමන්ගේම රැස්වීම්වල කැමරා ගිම්බල් එකෙන් ගේමක් ගසමින් පොඩි ආතල් එකක් ගැනීම සජිත්ගේ අනාගතයට හොඳය.

නැත්නම් අන්තිමේ මේ යන විදියට ඇඳන් ඉන්න රෙද්දත් නැති නොවී බේරුණොත් පුදුම ය.

ඔය විශ්වාසභංග සිද්ධියේ අවධානය යොමු නොවූ තවත් සිද්ධියක් තිබේ. ඒ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඡන්දය දීමෙන් වැළකී සිටීමයි.

ඔහු එදා පාර්ලිමේන්තු ඇවිත් හිටියත් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටීමේ හේතුව අපට පැහැදිලිය.

තමන් එක්කම එකට ඡන්දය ඉල්ලන මිනිහෙකුට විරුද්ධව ඡන්දය දුන්නත්, පක්ෂව ඡන්දය දුන්නත්, මොක කළත් ඊළඟ සැරේ තමන්ට කෙළවෙන්නට තියෙන සම්භාවිතාව වැඩි බව ඩලස් දන්නවා ය.

ඉතිං පත්තරකාරයෙක් වූ ඩලස්ට මොළෙත් ඇති තරමට තිබෙන බැවින් ඒ රිස්ක් එක ගන්නට ඔහු අකමැතිය.

ඒ වෙනුවට ඡන්දයෙන් වැළකීමේ බණ්ඩක්කා න්‍යාය අනුගමනය කිරීම ඔහුගේ ඇඟපතටද ගුණ ය. හැබැයි ඉතිං රටට වඩා තමන්ගේ පාර්ලිමේන්තු සීට් එක ගැන හිතන ඩලස්ලා එක්කත් ඉස්සරහට යන්න, සන්ධාන හදන්නට කතා කරන මිනිස්සුත් ඉන්නවා ය.

ඔය අතරේ ඊයේ පොහොට්ටුවට අලුත් සංවිධායක කෙනෙක් පත් වුණේය.

අලුත්ය කිව්වාට ඉතිං පත්වීම නාමිකව අලුත් වූවා පමණක් බව තතු දන්නෝ දනිති.

බැසිල් තමන් ළඟ තියන් හිටි තනතුරට නාමල් නම් කිරීමක් විතරක් සිදු වී ඇති බව මේ රහස් කවුළුවට පෙනෙන දෙයයි.

මොනවා හෝ කරමින් ඊළඟ විපක්ෂනායක තනතුරට නාමල්ව උස්සාගැනීම පොහොට්ටුවේ ඒකායන අරමුණ බව එයින් පැහැදිලි ය.

එක අතකට නාමල්ලාට මෙහෙම ටෙස්ටිං වලට මුහුණදෙන්නට වෙන එකත් මරු ය.

රටේ නීතිය පවා අතේ තියාගෙන, නීතියටත් ඉහළින් සිටි රාජපක්ෂවරුන්ට දැන් පුංචි පුංචි ගැට සෙල්ලම් පවා දමමින් මිනිසුන් අතරට යන්නට සිදුවීම ඇත්තෙන්ම දෛවයේ සරදමකි.

යුවරජුට අන්දා සිටි නාමල් බේබිට විපක්ෂනායක තනතුරු හෝ පරිස්සම් කරගන්නට ගමේ තේ කඩේ ඉඟුරු ප්ලේන්ටියක් දක්වා පල්ලම් බැසීමට සිදු වීම ආස්වාදජනක ය, ආහ්ලාදජනක ය.

කොහොම වුණත් මේවායෙන් හරි ප්‍රයෝජනයක් ගෙන මේ මොහොතේ හෝ හරි ට්‍රැක් එකට දාගන්නට නම් ජනතාවට ටිකක් අප්ඩේට් විය යුතුය.

නොඑසේ නම් නාමල්ලාද, සජිත්ලාද, ඩලස්ලාද ආදී මේ සියලු දෙනාම කොයි වෙලේක හෝ ආයෙත් අවුරුදු ගාණකට කෙලින් හිටගන්නට බැරිවෙන තරමට ජනතාවට හොඳම එකෙන් අරිනවා ය.

කොත්මලේ රංග

Share This