නඩුව ඉවරවෙනකන් කෙහෙළියට ඇප නෑ

නඩුව ඉවරවෙනකන් කෙහෙළියට ඇප නෑ

ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධ නඩුව අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු සියළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) දින නියෝග කළාය.

ඒ, අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදීයි.

ඒ අනුව, නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරිමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු පිරිස අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥ පාර්ශ්වයෙන් කෙහෙළිය රඹුක්වල්ල මහතාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කල මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මෙම නඩුකරය විමසා අවසන් වන තෙක් කිසිදු සැකකරුවකුට ඇප ලබා නොදෙන බවයි.

ඒ අනුව, මේ නඩුව නැවතත් විභාග කිරීම ලබන 28 වෙනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, එතෙක් සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එමෙන්ම මෙම නඩුවේ තොරතුරු අනාවරණය වන රිද්මයට අනුව සියලු සැකකරුවන්ට එරෙහිව සාපරාදී මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යටතේ චෝදනා එල්ල විය හැකි බවත් මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

මීට අමතරව රිටොක්සිමබ් පිළිකා ඖෂධය තුළ පිළිකානාශක ද්‍රව්‍ය ප්‍රතිශතය සියයට බිංදුවක් හෙවත් එය තුළ තිබී ඇත්තේ ඇල් වතුර බවත් මෙහිදී අනාවරණය වුණි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරී කාමන්ත තුෂාර මහතාට මරණ තර්ජන කළ බවට පැවසෙන හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වල්ලගේ ආධාරකරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පැවැත්වීමටත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

මේ අතර ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාවද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණි.

Share This