වැඩපිළිවෙළක් නැති “හීන ජනාධිපතිවරු”

වැඩපිළිවෙළක් නැති “හීන ජනාධිපතිවරු”

දැන් නම් මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ටක්කෙට කිවහැකි තරම් ෂුවර් ය. මන්ද යත් දැන් විවිධ කල්ලි කණ්ඩායම් හෝ ගාලා තමන්ගේ කඳවුරු වෙනුවෙන් වැඩ ය. පහුගිය සතිය දෙකේම මේ රහස් කවුළුවට පෙනෙන්නට තිබුණේත්, ඔත්තු ලැබුණේත් ඒවා ගැන ය.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල්, සජිත්, අනුර, නාමල් සහ තවත් උතුරේ අපේක්ෂකයෙක් එනවා යැයි මේ එහා පැත්තේ කවුදෝ ඕපාදූපයක් කතා කරනවා ඇහුණේ මේ ඊයේ පෙරේදාය.

ඒ ඕපාදූපයේ හැටියටම ඒක ඇහුණු ලෙසම කණෙන් හලා දැමිය යුතු වුවත්, ඔය ඕපාදූපය කතා කළ පිරිස සේම තවත් බොහෝ ඡන්ද දායකයන් මේ රටේ සිටිනා හෙයින් ඒ ගැන ලියන්නට ඕනෑ යැයි මට සිතෙන්නට විය.

රනිල්, සජිත්, අනුර ගැන විවාදයක් නැත. රනිල් තාම හරියට වචනයක් දී නැතත් සජිත් සහ අනුර රේස් එකේ අනිවාර්යයෙන්ම දුවන අශ්වයන් දෙදෙනෙකු බව ස්ථිර ය.

මේ දවස්වල මාලිමාවේ කාන්තා වැඩසටහන් වැඩියෙන් පෙනෙන්නට ඇති නිසා අවසන් මොහොතේ අනුර වෙනුවට හරිනි එන්නට ඉඩ ඇතැයි යම් යම් අය කීවද, තවමත් ජවිපෙ වැඩි බලතල සහිත මාලිමාව තුළ එවැනි වෙනසක් වීම උගහට ය.

සමගි ජනබලවේගයේ සජිත් එළියට විසි වී ජලනි ජනාධිපතිවරණයට ආවත්, මාලිමාවේ ඔය වෙනස වෙන්නට ඉඩක් නැත. ඒ නිසා සජිත් සහ අනුර අනිවාර්යයෙන් දුවන අශ්වයන් බව කිව හැකි ය.

රනිල්ගේ පැත්තෙන් තාමත් හරිහමන් උත්තරයක් නැත. රනිල් එනවාය කියන්නේද නැත, එන්නේ නැතැයි කියන්නේද නැත.

කොහොම වුණත් රනිල්ගේ ගෝලබාලයෝ දැන් තියාම කැම්පේන් කර තියාගෙන යති. රනිල් අන්තිම මොහොතේ බෑ කිව්වත්,දැන්ම තියා වියදම් කර කීයක් හෝ සොයාගැනීම ඒ පිරිසගේ ඒකායන අරමුණ විය හැකිය.එනයින් ඔවුන්ට රනිල් ඉල්ලුවත් නැතත් එක ය.

නමුත් රනිල්ගේ කැම්පේන් එකට බැහැපු පිරිස එක්සත් ජාතික පක්ෂයේ අය පමණක්ම නොවේ. පොහොට්ටුවේ කණ්ඩායමක්ද රනිල් දිනවන්නට කැම්පේන් ප්ලෑන් කරති.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෑතක කොළඹ හතෙන් ඔෆිස් එකක් ගෙන, එය කැලුම් ජයසුමන අතට පත්කොට ඇතැයි වට්ස්ඇප් ගෘප් එකක කවුදෝ මැසේජ් කර තිබිණි. එය ඇත්තක් වන්නට හැකිය.

එහෙම ගත්තාම පොහොට්ටුවද රනිල්ගේ කැම්පේන් කරන්නේ නම් නාමල් ඉල්ලන්නේ මොකෙන්දැයි ප්‍රශ්නයක් නැගෙයි.

කොහොමටත් මේ වතාවේ ඉල්ලුවොත් ඇපත් නැතිවන බව දන්නා නිසා බැසිල් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව ඉතා පැහැදිලිය.

එහෙත් නාමල් බේබිට නම් ඉල්ලලා බැලීමේ ආසාවක් නැතැයි කියන්නට බැරිය.‍ අපි එහෙම කියන්නේ මේ වතාවේ ඉල්ලලා පැරදිලා, විපක්ෂනායක පුටුවේ වාඩි වී, ඊළඟ වතාවේ ජනාධිපති වෙනවා වගේ ළාමක ආතල් නාමල්ට තියෙන බව මේ රහස් කවුළුවේ අපි හොඳටම දන්නා නිසා ය.

එහෙත් ආසාව තිබූ පලියට පොහොට්ටුවෙන් නාමල්ව ජනාධිපතිවරණයට දාන්නේ නැති ය. දැම්මත් දාන්නේ ට්‍රෝජන් අශ්වයෙකි. ධම්මික පෙරේරා වගේ උදවිය ඉන්නේ ඒකට ය. ඒ නිසා අපට උපකල්පනය කළ හැක්කේ පොහොට්ටුව නියමින් හෝ අනියමින් රනිල්ට සපෝට් කළ ද, මෙවර තමන් වෙනුවෙන් නාමල්ව නොදා සිටිනු ඇති බවයි.

අනිත් කතාව උතුරේ අපේක්ෂකයා ගැනය. මේ වෙලාවේ උතුරේ බලවත්ම ගජේන්ද්‍රකුමාර්ගේ පිල සහ ද්‍රවිඩ සන්ධාන පිලයි.

එහෙත් මෙවර පවතින තත්ත්වය අනුව මේ කණ්ඩායම් දෙකම තමන් වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

එමෙන්ම දකුණෙන් ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදක්වා උදාසීන ප්‍රතිචාරයක් දැක්වීමට බොහෝ ඉඩකඩක්ද පවතියි.

ඒ වෙන කිසිදු හේතුවක් හෝ නිසි නොව මේ කණ්ඩායම් දෙකම ජාතිකවාදී ප්‍රවේශවල සිටගෙන සිටීමයි. එවැනි වාතාවරණයක එක කණ්ඩායමක් ගන්නා තීරණය අනෙක් කණ්ඩායමේ දේශපාලන වාසිය හෝ අවාසිය තීරණය වන හෙයින් ඒ කණ්ඩායම් දෙකම ‘අනවශය රිස්ක් එකක්’ මේ වෙලාවේ නොගන්නට තරම් පරිණත ඇතැයි අපි සිතමු.

ඔය අතරේ දිලිත් ජයවීරද ජනාධිපතිවරණ ආතල් එක සැරටම ගන්නවා පෙනෙයි. අනුර කුමාර ෆේස්බුක් ජනාධිපති මෙන් දිලිත් ජයවීර ටික්ටොක් ජනාධිපති වී ඇති බවක් දැනටම පෙනෙන්නට තිබේ.

ඇත්තටම ජනාධිපතිවරණය එද්දී දිලිත් මොන ස්ථාවරයක් ගනු ඇත්දැයි අපට දැන්ම කිවනොහැකි අතර, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් බත්තරමුල්ලේ සීලරතන හිමිට නම් තරගයක් ඇති විය හැකි බව අපේ මතය යි.

ඔය කවුරු කොහොම ජනාධිපතිකමට ඉල්ලනවාය කිව්වත් තාම රට වටේ වැල් බයිලා කියනවා හැර පිළිගත හැකි වැඩපිළිවෙළක් කියන්නට තාමත් කිසිවෙකු සමත් වී නැත.

රනිල් ලබන මාසයේද කොහෙදෝ පොතක් එළිදක්වන බව කියයි. සජිතුත් බඩු බෙදිල්ල අතරේ වෙලාවක් ලැබුණොත් මොකක් හරි කරනු ඇතැයි සජබෙ පැත්තේ ඉගිලෙන කුරුල්ලෝ මේ එහා පැත්තේ කිචිබිචි ගාන අතරේ වේදනාවෙන් කියනවා ඇසුණි.

අනුරට නම් රාජපක්ෂලා ඇතුළු හොරු අල්ලනවාට වඩා වැඩපිළිවෙළක් නැති හෙයින් එයා ගැන හොයන වෙලාවත් අපරාදේ ය.

මේ රේස් එකේ තාමත් නම නොකියවෙන, ඒත් ජනාධිපතිවරණ සටනට එනු ඇතැයි සිතිය හැකි පාඨලී ගිය සතියේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

ඒක බැලූ බැල්මටම සාධනීය එළඹුමක් සහිත එකක් බව පෙනෙන්නට තිබිණි. එහෙත් මහින්ද චින්තන, දින සීයෙන් අලුත් රටක්, මෛත්‍රී පාලනයක් ආදී නානාවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ දැක ඇති හෙයින් අපි ඒ ගැන දැන්ම තියා ‘මාර විශ්වාසයක්’ තබන්නට ඉක්මන් නැත.

එහෙත් අපි ඒ ගැන ලියන්නේ මේ උදේ හවස ඇහෙන නම් ලිස්ට් එකේ සිටින්නන්ගෙන් මේ දක්වා පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වා ඇත්තේ පාඨලී පමණක් නිසා ය.

එය හොයාගෙන කියෙව්වත් පාඩු නැත්තේ ඒ තුළ හුදු මායාකාර, සංදර්ශනාත්මක වචන හරඹවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික සහ නව්‍යවාදී යෝජනා රැසක් අඩංගුව ඇති බැවිනි.

දැන් මේ රත්වෙන දේශපාලන පොරපිටියේ දැන් දැන් සිද්ධවෙන දේවල් දිහා බලාගෙන ඉන්නට තරම් ආතල් ය. ඒ ආතල් අස්සේ මිනිසුන්ට වඩා ප්‍රායෝගික යමක් දිය හැකි කෙනෙක් හෝ වැඩපිළිවෙළක් මතු වේ දැයි විමසිල්ලෙන් බලා සිටීම ඔබේ වගකීමයි.

අපි ද මේ රහස් කවුළුවේ සිට ඒ දෙස උනන්දුවෙන් බලා සිටිමු.

කොත්මලේ රංග

Share This