TIN එක ක්‍රියාත්මක කරන දිනය ගැන දැනුම් දීමක්

TIN එක ක්‍රියාත්මක කරන දිනය ගැන දැනුම් දීමක්

වයස අවුරුදු 18 වැඩි සෑම පුරවැසියෙකු සඳහාම අනිවාර්ය කෙරී ඇති TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ සඳහා ලියාපදිංචි වීමේදී ගැටලු පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම ගැටලු විසඳීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළේය.

“එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම කටයුත්ත සිදු කිරීම අපගේ බලාපොරොත්තුවයි. බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීමයි. ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම රට සංවර්ධනය සඳහා ගෙන යාමට වැදගත් වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරනවා.” රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක් පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව සඳහන් කළේය.

“2019 වසරේ අවසානය වන විට 1,705,233ක්ව පැවති බදු ලිපිගොනු ප්‍රමාණය 2022 වර්ෂය අවසානය වන විට 437,547ක් දක්වා අඩු වුණා. අප රජයේ නව ප්‍රතිපත්ති සමඟ 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා වන විට එම බදු ලිපි ගොනු ප්‍රමාණය 1,002,029ක් දක්වා යළි වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. එම ප්‍රමාණය අප තවත් වර්ධනය කර ගත යුතුයි.“ යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share This