ප්‍රසංග නතර කලාම මට වස් වදිනවා – යළි ප්‍රසංග පටන් ගන්නැයි තාඹුගලගෙන් සේවකයින්ට බලපෑම්

ප්‍රසංග නතර කලාම මට වස් වදිනවා – යළි ප්‍රසංග පටන් ගන්නැයි තාඹුගලගෙන් සේවකයින්ට බලපෑම්

පසුගිය කාලයේ මෙරට කා අතරත් කතා බහට ලක් වන ආකාරයේ අති දැවැන්ත සංගීත ප්‍රසංග කිහිපයක් පැවැත්වූ ව්‍යාපාරිකයකු මෙන්ම වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වනු ලබන විරන්ජිත් තාඹුගල යළිත් මෙරට දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට ඔහුගේ ප්‍රසංග සංවිධායකවරුන්ට බලපෑම් කරන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

අනුරාධපුර, රාජාංගනය – යාය 18 ගම්මානයේ දී අවුරා ලංකා සමාගම පැවැත්වූ දින 14ක සංගීත ප්‍රසංගය 2023 ජූනි 23 වෙනිදායින් පසු තවත් දින කිහිපයක් පවත්වාගෙන යෑම සඳහා සිදුකළ ඉල්ලීමට අවසරය ලබා නොදීමට පොලිසිය තීරණය කර තිබුණි.

සංගීත ප්‍රසංගය හේතුවෙන් ඇති වන ශබ්දය නිසා සතුන්ට හිරිහැර සිදුවන බවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීම මත අදාළ ප්‍රසංගය ඉදිරියට පවත්වා ගෙන යෑමට කළ අවසරය පොලිසිය විසින් එහිදී ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මෙම අවස්ථාවේ දී සංගීත ප්‍රසංගය පවත්වන සමාගමේ හිමිකරු විසින් රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමක් සිදුකර ඇති බවත්, ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අදාළ හිමිකරු ඇප මත මුදාහැර ඇති බවත් පැවසේ.

තවද මෙම ප්‍රසංග වලට මුවාවෙන් වෛද්‍යවරයා නිධන් හැරීම , පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති වස්තු සොරකමේ නිරත වන බවට ගම් වැසියන් හා ඇතැම් පුද්ගලයන් විසින් ඔහුට චෝදනා කර තිබුණි.

ඒ අනුව අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල වත්කම් උපයා ගත් ආකාරය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම හේතු කාරණා මත ප්‍රසංග මලාවේ ඉදිරි ප්‍රසංග පැවැත්වීම තාවකාලිකව නතර කිරීමට අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් ආයතනය තීරණය කර තිබුණි.

මේ වන විට තාඹුගල වෛද්‍යවරයා ප්‍රසංග සංවිධානය කල අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සේවයින්ට මාස කිහිපයකින් වැටුප් ද ගෙවා නොමැති බව ආරංචි මාර්ග පවසයි.

ප්‍රසංග පැවැත්වීම නතර කිරීමෙන් තමන්ට වස් වදින බවත්, නොගෙවූ වැටුප් ගෙවීමට නම් යළිත් ප්‍රසංග ආරම්භ කරීමට කටයුතු කරන ලෙසත් වෛද්‍යවරයා ප්‍රසංග සංවිධායකවරුන්ට බලපෑම් කරන බව පැවසේ.

මේ හේතුවෙන් වැටුප් ද නොලබා සිටින සේවකයින් තවත් අපහසුතාවයට පත්ව ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

චන්දික විරංජිත් තාඹුගල විසින් හිමිකාරිත්වය දරනු ලබන අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා තිබෙන අතර සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වෙනිදා ය.

මෙම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් කිහිපයක් ඇතුළත් වේ.

අවුරා ලංකා හර්බල්ස්, අවුරා ලංකා ජෙම් ඇන්ඩ් මියුසියම්, අවුරා ලංකා සිකියුරිටි, අවුරා ලංකා එයාර්ලයින්ස්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්, අවුරා ලංකා ස්පෝර්ට්ස් සහ අවුරා ලංකා ඉවෙන්ට් මැනේජ්මන්ට් යන සමාගම් ඊට අයත් ය.

අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මෙරට තුළ බොහෝ කොටම ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඊට අයත් අවුරා ලංකා එන්ටර්ටේට්මන්ට් විසින් සංවිධානය කරන සංගීත සංදර්ශන සහ සැණකෙලි හේතුවෙනි.

2022 වසරේ ජූනි මාසයේ අනුරාධපුරය, රාජාංගනය යාය -18 ගම්මානයේ දී අවුරා ලංකා මියුසිකල් ෆෙස්ටිවල් සහ සැණකෙළියේ පළමු ප්‍රසංගය පැවැත්විණි.

එහි නමවන ප්‍රසංගය 2023 ජුලි මස 10 වෙනිදා සිට 24 වෙනිදා දක්වා එහිදීම පැවැත්විණි.

මෙම සංගීත ප්‍රදර්ශනයන්ට අමතරව අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන සිටින අතර ඊට මේ වන විට එයට ද පරිසර ක්‍රියාකාරීන් හා ගම් වැසියන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ, කිසිදු නීතිමය අවසරයකින් හෝ පරිසර අධ්‍යයන වාර්තාවකින් තොරව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2021 අගෝස්තු මස 30 වෙනිදා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.

මුලාශ්‍රය (ලක් news)

Share This