බන්ධනාගාර රෝහල දැඩි අර්බුදයක

බන්ධනාගාර රෝහල දැඩි අර්බුදයක

බන්ධනාගාර රෝහලේ දැඩි තදබදයක් මතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර රෝහලේ ඇඳන් 185 ක් පවතින බවයි, එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ.

එහෙත්, මේ වන විට රැඳවියන් 350 දෙනෙකු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව, ඔහු සඳහන් කළේ ය‍.

එම තත්ත්වය මත සමහර අවස්ථාවල එක ඇඳක රෝගීන් දෙදෙනා බැගින් රඳවන බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරියේදී එම තත්ත්වය ඉහළ ගියහොත්, දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බන්ධනාගාර ගත රැඳවියන් ප්‍රමාණය, ශීඝ්‍රයෙන් ඉහළ යාම, එම තත්ත්වයට හේතුවයි.

මේ අතර, මෑතකදී යළි අධිකරණ තීන්දුව මත මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජයවර්ධනපුර රෝහලේ සිට පසුගිය ජනවාරි 19 වැනි සිකුරාදා බන්ධනාගාර රෝහලට රැගෙන ආ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

බන්ධනාගාර වල ඉඩකඩ වැඩිකිරීමේ අරමුණෙන් දැනට ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි ගණනාවක් මේ වන විට ප්‍රතිසංස්කරණය කරගෙන යන බවද ගාමිණී දිසානායක මහතා පැවැසීය.

Share This