මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩා වැදී එහි වෙළෙඳ සැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැරගෙන යාමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සඟවාගෙන සිටි කඩවත කිරිල්ලවල අවන්හලක හිමිකරුවෙක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

අනෙක් සැකකරු සැකකරුවන්ට රැඳී සිටීමට නිවසක් ලබා දී තිබූ පුද්ගලයා බව පොලිසිය කියයි.

සැකකරුවන් සමග එම යතුරු පැදිය, ආරක්ෂක හිස් වැස්මක්, පිහියක් හා කමිසයක් අවන්හලේ කාමරයක් තුළ සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඉකුත් 12 වන දින මෙම කොල්ලකෑම සිදුවූ අතර නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙළඳසැලක සේවිකාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර රුපියල් 45900/= මුදලක් කොල්ලකා පලා ගොස් තිබිණි.

උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලද 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කෙරිණි.

කොල්ලකරුවන් වෙළඳසැලේ උඩ ලාච්චුව තුළ මුදල් කොල්ලකෑමෙන් අනතුරුව වසා තිබූ යට ලාච්චුවේ යතුර සේවිකාවගෙන් ඉල්ලා සිට ඇති අතර ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදු කර තිබිණි.

කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් කීපයක් ලැබී ඇතැයි පවසන පොලිසිය නුදුරු දිනකදීම එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 44 අතර පසුවන ඉඹුල්ගම සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Share This