පාඨලීගේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ජනගත කෙරේ

පාඨලීගේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ජනගත කෙරේ

දුෂ්කර අවස්ථා වලින් රට සහ ජනතාව මුදා ගැනීමට සෑම විටම ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අතීතයේ මෙන්ම මෙවර ද ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේදී සක්‍රිය දායකත්වයක් සපයා, කළ නොහැකියැයි විශ්වාස කළ ක්‍රියාවලියක් ජයග්‍රහණයෙන් අවසන් කිරීමට තමා මැදිහත් වූ බව හෙතෙම පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ නොහැකි බවට මත පළවිය. එහෙත් ඔහු පරාජය කිරීමට තමා නායකත්වය සැපයූ බව ද රණවක මහතා පෙන්වා දෙයි.

එවැනි අත්දැකීම් රැසක් මත මෙවරද පවතින අර්බුදයෙන් රට මුදා ගැනීමට කැපවන බව ඔහු අවධාරණය කළේ, ” දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” ප්‍රායෝගික වැඩපිළිවෙළ කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ජනගත කරමිනි.

පවතින තත්ත්වයෙන් රට මුදා ගනිමින් සංවර්ධනය කරා මෙහෙයවීමට සැමට එක්විය හැකි පොදු වැඩපිළිවෙලක් හඳුන්වාදීම එහි ප්‍රමුඛ අරමුණ වූ බව මන්ත්‍රී වරයා පෙන්වා දෙයි .

රට සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්ත්ව නැංවීමට අවශ්‍ය සැලසුම් ” දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” තුළ පවතින බවද හෙතෙම පෙන්වා දෙයි. රණවක මහතා කියාසිටියේ, මෙය අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමටද නියමිතයි.

දැනට රට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන වල උපදෙස් මත යි. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කර තිබේ.

එහෙත් එක්සත් ජනරජ පෙරමුණෙහි ස්ථාවරය වන්නේ, යහපාලන මාර්ගෝපදේශ සහ වෙනත් උපදේශනද ඇතුළත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තිරසර ආර්ථික වර්ධනයකට අනුකූලවන පරිදි සංශෝධනය කර, ක්‍රියාත්මක කළ යුතු බවයි.

බදු අය කිරීම සම්බන්ධව සංශෝධන සිදුවිය යුතු බව රණවක මහතා පෙන්වා දෙයි. සෑම පුද්ගලයෙකුටම බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නොවේ.

එවැනි කාර්යයක් සඳහා ක්‍රමවේදය භාවිත කළහොත්, මිලියන දාසයක් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට වසර තිස් දෙකක් ගතවෙයි.

ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද මගින් බදු අය කිරීම විධිමත් කළ හැකි බව රණවක මහතා පෙන්වා දෙයි.

ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පද්ධතියක් නිර්මාණය එක් පියවරකි. සෑම පුරවැසියෙකු සඳහාම ඩිජිටල් පසුම්බියක් ලබා දිය යුතුය.

එමගින් සියලු ගනුදෙනු නිරීක්‍ෂණය කිරීමේ හැකියාව ලැබේ. සියලු කාර්යයන් ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියකට සම්බන්ධ කර ගැනීමෙන් පරිපාලනය ද විධිමත් කළ හැකිය.

ඒ අනුව e හැඳුනුම්පතක්, e ගුවන් බලපත්‍රයක්, ඊ රියදුරු බලපත්‍රයක්, e බැංකු ක්‍රමයක් සහ e රුපියලක් හඳුන්වා දිය යුතු බව රණවක මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදය භාවිතයෙන් දැනට බදු නොගෙවන එහෙත් බදු ගෙවිය යුතු මිලියනයක් හඳුනාගත හැකිය. රාජ්‍ය ආදායම දෙගුණයක් බවට පත්කිරීමට ඉන් අවස්ථා සැලසෙයි. මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය විය යුතු යි හිඟ බදු මුදල රුපියල් බිලියන නවසිය පනස් හයකි.

ඉන් රුපියල් බිලියන 656 ක් වසර දෙදහස් දහ නවය සිට 2023 අතර කාලයේදී අය නොවූ බදු මුදල් බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි.

රේගු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන පනස් අටක්ද සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන හතක් ද අය විය යුතුව තිබේ. ඒවා අය කර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි රණවක මහතා පෙන්වා දෙයි.

බැංකු පද්ධතියේ අක්‍රිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1387 කි. රාජ්‍ය බැංකු දෙකක රුපියල් බිලියන 616 කට වැඩි අක්‍රිය ණය පවතී.

එවැනි තත්ත්වයක් නිසා බැංකු ගලවා ගැනීම සඳහා අයවැයෙන් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 420 කි. මෙවැනි තත්ත්ව වෙනස් කිරීම සඳහා විධිමත් සහ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව රණවක මහතා පවසයි.

රාජ්‍ය ආයතන විධිමත් ප්‍රතිසංස්කරණයකට පියවර ගත යුතුය. ඒ සඳහා කළමනාකරන විගණනයක් සිදු කළ යුතු බව රණවක මහතා අවධාරණය කරයි.

එමගින් වසා දැමිය යුතු ආයතන සහ ඒකාබද්ධ කළ යුතු ආයතන හඳුනාගත හැකිය. ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර රාජ්‍ය / පෞද්ගලික හවුල්කාරීත්වයෙන් පවත්වා ගත යුතු ආයතන මොනවාදැයි හඳුනා ගැනීමට ද කළමනාකරන විගණනය පිටිවහලක් වෙයි.

විවෘත ක්‍රමවේදයක් මගින් පෞද්ගලීකරණය කළ යුතු ආයතනද හඳුනාගත හැක. රාජ්‍ය ආයතන ඇගයීමේ ක්‍රමවේදයක් සහ පත්වීම් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක්ද සැකසිය යුතුය. සේවක වැඩ විගණනය කළ යුතු අතර සේවකයන් සමග සාකච්ඡාවකින් පසු සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවද ” දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” ජනගත කරමින් රණවක මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, සාරතී දුෂ්මන්ත, කුමාර වෙල්ගම, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, රවුෆ් හකීම්, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, සහ කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. සිවිල් ක්‍රියාකාරීන් ද ඊට එක්වූ අතර විදේශ තානාපතිවරු ද සහභාගී වූහ.