ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

අතහැර දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල නව කළමනාකාරිත්වයක් යටතේ අද (18) සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට සිදුවිය.

අනතුරුව අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට තිස් අවුරුදු බදු පදනමක් මත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.

ඒ අනුව, කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන්ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා කේ.එස්.පී.ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් නමින් නව සමාගමක් සංස්ථාගත කළ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග වන ගිවිසුමක් මත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.

මෙහෙයුම් කටයුතු ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසූයේ, රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව තම පෞද්ගලික විශ්වාසය බවයි.

Share This