වසර 1900ක් පැරණි විහාර සංකීර්ණයක් නාඋලින් හමුවෙයි

වසර 1900ක් පැරණි විහාර සංකීර්ණයක් නාඋලින් හමුවෙයි

වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසූ පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටබුන් නාඋල – බඹරගහවත්තෙන් හමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාල නිලධාරීන් හා කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (09දා) මෙම අනාවරණය කළේය.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගහවත්ත ඓතිහාසික ග්‍රාමයේ මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබේ.

2017 වර්ෂයේ දී පුරා විද්‍යා ස්ථානය නිදන් හොරුන්ට නතු වීම හේතුවෙන් පළමුවෙන් ස්ථානය හඳුනා ගැනීම සිදුවන්නේ මහනුවර පුරාවිදයා කාර්යාලයෙනි.

අනුතුරුව කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ පර්යේෂණ වල දී මෙම ස්ථානයේ අනුරාධපුර යුගයට (ක්‍රි.පූ. දෙවැනි සියවසට) අයත් භූමියක් යැයි අනුමාන කළ හැකි බව අනාවරණය කර ගෙන තිබේ.

“මේ ස්ථානයේ පබ්බත විහාර සංකීර්ණයක් පැවැති බවට අනුමාන කරන්න පුලුවන්. අඩි 400-500 ක පමණ විෂ්කම්භයකින් යුතු චෛත්‍යයක නටබුන් අපට හමුවුණා”.

කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා එසේ සඳහන් කරමින් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ ලාංකීය පුරාවිද්‍යාවට එකතු නොවුණු දැනුම් සම්භාරයක් මෙහි ගැබ් වී ඇති බවයි.

සිදුකරන ලද මූලික පරික්ෂණ වලදී සුවිශේෂ ස්ථාන පහක් මේ වන විට කැණීම් සඳහා නම් කර ඇති බව ද හෙතෙම කියා පැවසීය.

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී, මධ්‍යම පළාත් භාර නඩත්තු කළමනාකරු ඩබ්ලිව්.එම්.යූ.බණ්ඩාර මහතා සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නාලන්ද කලාපය භාර පූජ්‍ය අමිත ස්වාමින් වහන්සේ ද අදහස් දැක්වූහ.