සජබෙන් නෙරපීමට එරෙහි ඩයනාගේ පෙත්සම විභාගයට දින දෙයි

සජබෙන් නෙරපීමට එරෙහි ඩයනාගේ පෙත්සම විභාගයට දින දෙයි

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.

මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් පසුව මෙසේ දින නියම කෙරිණි.

ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද ?යන්න පිළිබඳ තීරණය අධිකරණයට දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව, අදාළ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙසත් නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇත.