ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා කටුනායකදී අත්අඩංගුවට

ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා කටුනායකදී අත්අඩංගුවට

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි ,ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි.

ඇයව ඝාතනය කර තිබුණේ එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නැමැති කොළඹ බම්බලපිටියේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වීසා උපදේශන සේවාවක් ලබා දෙන පුද්ගලයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා බව ද විමර්ශන අංශ කියයි.

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයත් සමගම පොලිසිය සැකකරුවට විදේශ ගමන් තහනමක් ද පැනවීය.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.