කොළඹ – බදුල්ල පාර සම්පූර්ණයෙන් අවහිරයි

කොළඹ – බදුල්ල පාර සම්පූර්ණයෙන් අවහිරයි

කොළඹ බදුල්ල මාර්ගයේ බණ්ඩාරවෙල බදුල්ල අතර ඊයේ (09) රාත්‍රී 9.30 ට පමණ සිදුවූ දැවැන්ත නාය යාම හේතුවෙන් මාර්ගය වැසී ඇති කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු අයහපත් කාලගුණය මධ්‍යයේ සහ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් අද (10) අලුයම දොළහයි තිහ පමණ වන විට තාවකාලිකව නතර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල් .උදය කුමාර මහතා පැවසීය.

මෙසේ මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් ඇටම්පිටිය මාර්ගය හරහා හාලිඇල බදුල්ල හෝ දෙමෝදර ඉස්පිරිං වැලි මාර්ගය හරහා බදුල්ල යන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම්දෙයි.

නායයාම සිදුවූ විගසම පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළද සිදු වී ඇත්තේ මහා පරිමාණ නායාමක් බැවින් මාර්ගය මතට පතිත වී ඇති ගල් පර්වත විශාල ගස් සමග ඇති මහා පරිමාණ පස් කඳු ඉක්මනින් ඉවත් කර ගැනීම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙන බවද මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බව ද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

විශේෂයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයේ විභාග මධ්‍යස්ථාන කරා මේ ඔස්සේ ආසන්න වශයෙන් විභාග අපේක්ෂකයින් තුන්සීයක් පමණ යාමට ඇති බවත් බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල විභාග මධ්‍යස්ථාන කරාද විභාග අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණීමට නියමිත බව ද අනාවරණය වී තිබේ.

විභාග අපේක්ෂකයින්ද නියමිත විභාග මධ්‍යස්ථානා කරා යාමට විකල්ප මාර්ග භාවිතා කිරීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවද ආපදා අංශ දැනුම්දෙයි.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවල බදුල්ල අතර හතේ කණුව කිරි මණ්ඩලයේ ආසන්න ප්‍රදේශයේ මෙම මහා පරිමාණ නාය යාම සිදුවීම හේතුවෙන් මාර්ගය මීටර් 300 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙන බවට නිරීක්ෂණ කර තිබේ.

මේ වන විට විකල්ප මාර්ග ඔස්සේ වාහන හරවා යැවීමට බණ්ඩාරවෙල හා හාලිඇල පොලිස් නිලධාරීහු රාජකාරී කටයුතු සිදුකරමින් සිටිති.