කෝටි 110ක් වන්දි ඉල්ලා මිහින්තලේ නා හිමිගෙන් යූටියුබ් නාළිකාවකට නඩු

කෝටි 110ක් වන්දි ඉල්ලා මිහින්තලේ නා හිමිගෙන් යූටියුබ් නාළිකාවකට නඩු

“මිහින්තලාවට හඬක්” නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවක් ඔස්සේ තමන් වහන්සේට සිදු කළ අපහාස සහ තර්ජන හේතුවෙන් සිදුව ඇති හානියට වන්දි ලෙස රුපියල් කෝටි එකසිය දහයක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අදාළ යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු විසිදෙකක් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබේ.

ඓතිහාසික මිහින්තලා රජමහ විහාරධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් පවරා ඇති මෙම නඩු විසිදෙකෙහි ම වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ මිහින්තලාවට හඬක් නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන මිහින්තලේ ප්‍රදේශයේම පදිංචි අජිත් එදිරිසිංහ යන අයයි.

මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩු විසිදෙකට අදාළව එක් එක් නඩුවක් සඳහා ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් කෝටි පහකි.

අදාළ නඩු විසිදෙක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න ප්‍රකාශ කොට ඇත්තේ, පෙත්සම්කාර වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඓතිහාසික මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති සහ භාරකරු මෙන් ම ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ හිමිනමක බවයි.

මෙම නඩුවල වගඋත්තරකරු ලෙස නම් කර සිටින මිහින්තලාවට හඬක් නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන අජිත් එදිරිසිංහ යන අය සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස හුවා දක්වමින් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට දිගින් දිගට ම අපහාස කරමින් සිටින බවද ස්වකීය නඩුකර මගින් අධිකරණයට පවසා ඇති නීතිඥවරයා මේ තුළින් මිහින්තලා විහාරස්ථානය සහ විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් පදනම් විරහිත වැරදි මත දෙස් – විදෙස් වශයෙන් සමාජගත කිරීමට වගඋත්තරකරු උත්සාහ දරමින් සිටින බවට ද චෝදනා කර තිබේ.

වගඋත්තරකරුගේ මෙම ද්වේශ සහගත ක්‍රියා කලාපයෙන් පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේගේ කීර්තිනාමයට සහ ගෞරවයට හානි සිදුවන බව ද අධිකරණයට ප්‍රකාශ කොට ඇති නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා වගඋත්තරකරු ස්වකීය යූටියුබ් නාළිකාවෙන් සමාජගත කරන තොරතුරු මුළුමනින් ම අසත්‍ය බව ද අවධාරණය කර තිබේ.

ඒ අනුව, තම සේවාදායක පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේට මිහින්තලාවට හඬක් යූටියුබ් නාළිකාව මගින් වගඋත්තරකරු සිදු කර ඇති අපහාස කිරීම හේතුවෙන් මෙම නඩුවේ වගඋත්තරකාර අජිත් එදිරිසිංහගෙන් වන්දි අයකර ගැනීමේ අරමුණින් පවරා ඇති මෙම නඩු විසිදෙක විභාගයට ගන්නා ලෙසත් අධිකරණයෙන් අයැද ඇති නීතිඥ විජයරත්න මහතා පවරනු ලැබූ මෙම නඩුකර විසිදෙක සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීම නඩු විභාගයන් අතරතුර සිදු කරන බවත් ප්‍රකාශ කර තිබේ.

මෙම නඩු විසිදෙක ඉදිරි දිනයක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

අනුරාධපුර – උපාලි ආනන්ද

Share This