මීරියබැද්ද පවුල් 16ක් ඉවත් කිරීමට උසාවි නියෝගයක්

මීරියබැද්ද පවුල් 16ක් ඉවත් කිරීමට උසාවි නියෝගයක්

කොස්ලන්ද, මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස අධිඅවදානම් කලාපයේ සිටින පවුල් 16 ක් ඉවත් කර අද (19) දින උසාවියට ප්‍රගතිය වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා ඊයේ (18) නියම කළේය.

ඉවත්ව යන ලෙස දැනුම් දුන්න ද මෙතෙක් එම දැනුම්දීම නොසලකා එහිම අවදානම් ලෙස රැඳී සිටින මීරියබැද්ද පවුල් දහසයක් සඳහා මෙම නියෝගය නිකුත් කෙරිණ.

කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. දිනේෂ් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ඇතිව පොලිස් කොස්තාපල් (69335) පුවනේෂ්වරන් මහතා උසාවියට ඊයේ කරුණු වාර්තා කළේය.

කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා අනාරක්ෂිතව පදිංචිව සිටින පවුල් 16 වහාම ඉවත් කර අද දින උසාවියට කරුණු වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

මේ පිළිබඳව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අදාළ ජනතාව දැනුම්වත් කරන බවත්, එසේ නොයන්නේ නම් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවේ විශාලතම නායයාමක් ලෙස වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද නාය නැවත සක්‍රිය වීම නිසා අධිඅවදානම් කලාපයේ සිටින ජනතාව ඉවත් කරගැනීම සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය පොලීසියේ සහාය අවශ්‍ය බව දැන්වීමෙන් පසුව මෙම පියවර ගෙන තිබුණි.

Share This