ආධාර රැගත් ට්‍රක් රථ 20කට රෆා පිවිසුමෙන් ගාසා තීරයට යාමට ඊජිප්තුවේ අවසරය

ආධාර රැගත් ට්‍රක් රථ 20කට රෆා පිවිසුමෙන් ගාසා තීරයට යාමට ඊජිප්තුවේ අවසරය

ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට යාමට ඉඩ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන මේ වනවිට 4500 ඉක්මවා ඇත.

ගාසා – ඊජිප්තු දේශ සීමාවේ මෙම පිවිසුම රෆා ලෙස හැඳින්වේ.

ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන එකම පිවිසුම මෙය බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය හමුවේ අනෙකුත් සියලුම දේශ සීමා පිවිසුම් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළේ ය.

ගාසා තීරය ආශ්‍රිත සමුද්‍රය පාලනය වන්නේ ද ඊශ්‍රායල නාවික හමුදාව හරහායි.

පසුගිය දින කිහිපය පුරාම ගාසා තීරයේ පුද්ගලයින් දහස් ගණනක් ගාසා – ඊජිප්තු දේශ සීමාව අසළට රැස්ව තිබෙන්නේ ඊශ්‍රායල හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයෙන් පිටවීමේ අරමුණිනි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ ආධාර ට්‍රක් රථ 20 ලබා දීමට රෆා පිවිසුම විවෘත කිරීම එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වනු ඇති.

මේ අතර පලස්තීන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ පවසන්නේ, මේ වනවිට වේගයෙන් සිය සැපයුම් අඩු වෙමින් පවතින අතර ජාත්‍යන්තර ආධාර ආයතන පවසන්නේ ආධාර කඩිනමින් අවශ්‍යව ඇති බවයි.

මේ අතර ගාසා අහ්ලි අරාබ් රෝහලට එල්ල වූ ප්‍රහාරය මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන රැසක් විවේචනය කර තිබේ.

අදාළ ප්‍රහාරයෙන් 500කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය.

මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි.

අද අලුයම දකුණු ලෙබනනයේ ගම්මාන දෙකක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙවන් වාතාවරණයක් තුළ ඇමෙරිකානූ ජනාධිපති ජෝ බයිඩ්න් විශේෂ රූපවාහිනි සාකච්ඡාවකට එක්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කළේ ය.

එහිදී ඊශ්‍රායලය – හමාස් ගැටුම් මෙන්න යුක්‍රේනය – රුසියා යුද්ධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

 

 

Share This