දස වසරකට පසු මහපොළ ප්‍රදර්ශනය යළි ඇරඹෙයි

දස වසරකට පසු මහපොළ ප්‍රදර්ශනය යළි ඇරඹෙයි

දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව පැවසූ ජනාධිපතිවරයා, හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින්, සිතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය (Post Graduate for Research) ඔහු නමින් නම් කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (14) පස්වරුවේ එක්වෙමිනි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.

මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

226 වන මහපොළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක් වන අතර මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වනදා තෙක් පැවැත්වේ.

නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විතය.

එහි දෙවන දිනය වන ඊයේ දිනය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබූ අතර ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද පිළිසඳරක නිරත විය.

Share This