වයස අවුරුදු 40 ඉක්මවා හැඳුනුම්පත් ගන්න එන අයට රු 2500ක දඩයක්

වයස අවුරුදු 40 ඉක්මවා හැඳුනුම්පත් ගන්න එන අයට රු 2500ක දඩයක්

වයස අවුරුදු 40 ඉක්මවූ එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයකු එය ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දමා තිබේ.

පුද්ගලයකු නියමිත කාලය තුළ ජාතික හැඳුනුම්පතක් ලබා නොගැනීමේ වරද සමථයට පත් කිරීම සඳහා මීට පෙර රුපියල් 250ක දඩ මුදලක් අය කළේය.

එහෙත් වැඩි වූ දඩ මුදල ගෙවීමට නොහැකි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගෙන් පමණක් සංශෝධනයට පෙර අයකළ දඩ මුදල වන රුපියල් 250 එලෙසම අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ අත්සනින් යුතුව සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිපියක් මගින් මේ බව දන්වා ඇත.

තමා අඩු ආදායම්ලාභී පුද්ගලයෙක්ද යන්න සම්බන්ධයෙන් වසමේ ග්‍රාම නිලධාරියාගේ නිර්දේශයක් මේ සඳහා අවශ්‍ය වේ.

ඒ අනුව රුපියල් 250ක දඩ මුදල අය කරන ලද කුවින්තාසිය සහ ග්‍රාම නිලධාරියාගේ නිර්දේශය ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත සමග අමුණා කඩිනමින් සිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

එමෙන්ම වයස අවුරුදු 40 ඉක්මවූ එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයන් මෙම වසරේ (2023) දෙසැම්බර් 31ට පෙර ඉල්ලුම්පත් යොමු කරන ලෙසද කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.