කාලගුණයෙන් අවවාදාත්මක රතු නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (10) මධ්‍යහන 12.00 සිට හෙට (11) මධ්‍යහන 12.00 තෙක් වලංගු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදේ 08.30 වන විට 8.80N සහ 88.90E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතුණි.

එය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ සම මියන්මාර වෙරළ තීරය වෙත ළඟ වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දැනට ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දෙයි

Share This