web hit counter
අලි සබ්රි රහීම් ගැන රේගුවෙන් කතානායකට වාර්තාවක්

අලි සබ්රි රහීම් ගැන රේගුවෙන් කතානායකට වාර්තාවක්

රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී දඩයක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

එම වාර්තාව මීළඟ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඔවුන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුව මෙම වාර්තාව ලබාදී ඇත්තේ කතානායකවරයා කළ ඉල්ලීමක් අනුවය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීමට රහීම් මන්ත්‍රීවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

කතානායකවරයා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි රහීම් මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දුන්නේ ලිපියක් යොමු කරමිනි.

මෙයට අමතරව ඒ සම්බන්ධයෙන් ඔහුට “වට්ස් අප්” පණිවිඩයක්ද යොමු කරන ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නීති විරෝධීව රත්රන් තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රහීම් මන්ත්‍රීවරයා රේගු පරීක්ෂණයෙන් අනතුරුව රුපියල් ලක්ෂ 70 ක දඩ මුදලක් මත මුදාහරිනු ලැබීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )