චීන ජාතිකයා චීනයටම පිටුවහල් කරයි – චීනයෙනුත් ආරක්ෂක නිලධාරීන් කටුනායකට

චීන ජාතිකයා චීනයටම පිටුවහල් කරයි – චීනයෙනුත් ආරක්ෂක නිලධාරීන් කටුනායකට

අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා, විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත ඊයේ (08) සවස චීනය බලා පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම චීන ජාතිකයා ඊයේ සවස 05.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් එසේ පිටුවහල් කර තිබේ.

ඔහු තමන් පැමිණි ඩුබායි වෙත තමා පමණක් ගමන් ගන්නා ගුවන් යානයකින් යළි ආපසු යවන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

මෙම චීන ජාතිකයාගේ දෙඅතට මාංචු දමා, ඒවා පිටතට නොපෙනෙන සේ සකස් කර අව් කණ්නාඩියක් පළදා රෝද පුටුවක හිදුවා එය තල්ලු කර ගෙන ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත පැමිණ තිබුණි.

මොහු ගුවන් යානය වෙත පිවිසෙන තෙක්, තම ගමනාන්තය කුමක් දැයි නොදැන සිට තිබේ. මෙම ගුවන් යානයට පිවිසීමෙන් අනතුරුව “දැන් අව් කණ්නාඩිය ගලවමු” යැයි ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීවරයෙකු විසින් යෝජනා කිරීමෙන් පසු, එය ගලවා ඉවත් කර තිබේ.

එවිට ඔහුට පැහැදිලි දසුන් පෙනෙන්නට පටන් ගෙන ඇති අතර, ඒ වනවිටත් මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීම සදහා චීනයේ සිට වෙස්වළා ගෙන පැමිණ සිටි චීන ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිට ඇත.

ඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් , මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් “සුභ සන්ධ්‍යාවක්” යැයි පවසනවාත් සමග මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් කළබළ කරන්නට වූයේ තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමගය.

එහෙත් ඒ වනවිටත් ඔහු වටා චීන සහ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම ගුවන් යානා කාර්යය මණ්ඩලය ද රැස් වී සිටි අතර, ඔවුන් මොහු පාලනය කර ගෙන තිබුණි.

මෙම චීන ජාතිකයා තවත් චීන සහ ඊජිප්තු ජාතිකයෙකු සමග ඉකුත් මැයි 18 වන දින ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ අතර පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයෙකු මොහු “ආයෝජකයෙකු” බව සදහන් කරමින් ලිපියක් මගින් මොහු රට තුළට පිවිසීම සදහා නිදහස් කරන ලෙස ඉල්ලා ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.

Share This