හේනේගම හිමිනම ඝාතනය කර ඇත්තේ නිදන් මැණිකක ආරවුලකට

හේනේගම හිමිනම ඝාතනය කර ඇත්තේ නිදන් මැණිකක ආරවුලකට

ගම්පහ හේනේගම කහටාන ශ්‍රී ගණාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරත්න හිමියන්ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, නිධානයකින් ගොඩගත් මැණිකක් සම්බන්ධයෙන් පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස යැයි විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

උන් වහන්සේට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සිව්දෙනා පැමිණ ඇත්තේ ද එම මැණික සොයාගෙන බව සඳහන්ය.

එම සිව්දෙනා පැමිණ ඇත්තේ, මේ වන විට විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකු වන ලැඩ්ඩා නමැති පුද්ගලයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව ද පෙනී ගොස් ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස අතුරුගිරියේදී පුද්ගලයන් තිදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ පොලිස් අංශයක ඔවුන්ව රඳවාගෙන කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත ටී-56 අවියක්, පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ද සොයාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම ගිනි අවිවලට අමතරව සැකකරුවන් පරිහරණය කළ වාහන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම ටී-56 අවිය ධම්මරත්න හිමියන්ට වෙඩි තැබූ අවිය බවට සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අතුරුගිරිය ගොඩගම පාරේ පදිංචිකරුවකු වන අසංක කුමාර හේරත් නොහොත් ලැටා, පොඩි බූටි සහ ඊසා යන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අය බව සඳහන්ය.

මෝටර් රථයකින් පැමිණි සිව්දෙනකු කහටාන ශ්‍රී ගණාරාම විහාරස්ථානයට පැමිණ කලපලුවාවේ ධම්මරත්න හිමියන්ට වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ පසුගිය 23 වැනිදා දහවල් කාලයේදීය.

CAQ 0345 අංක දරන මෝටර් රථයෙන් පැමිණි වෙඩික්කරුවන් මෙම ඝාතනයෙන් පසු පලා ගොස් කඩුවෙල ගොඩල්ලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථය ගිනි තබා පලා ගොස් තිබිණි.

එම රථයේ සටහන්ව තිබුණු ලියාපදිංචි අංක තහඩු, චැසි සහ ඇංජින් අංක ඔස්සේ කළ පරීක්ෂාවකදී හෙළිවන්නේ එම ඇංජින් සහ චැසි අංකයට එම ලියාපදිංචි අංක තහඩුව ඇති මෝටර් රථයක් ඇති බවය.

ඒ අනුව, පොලිසියට පෙනී ගොස් තිබුණේ වෙඩික්කරුවන් පැමිණි රථය කොටස් එකලස් කර හෝ සොරාගත් රථයක චැසි සහ ඇංජින් අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ඒ ගැන ද ප්‍රශ්න කරන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ජ්‍යෙතිෂ්‍ය හා හදි හූනියම් කටයුතුවල නිරතව සිටින මෙම හිමිනම ඝාතනය කිරීමට පැමිණි ඝාතකයන් විහාරස්ථානයට පැමිණ තිබුණේ “වෙලාව බලන හාමුදුරුවෝ“ කවුරුන්දැයි සොයාගෙනය. මෙම හිමිනම වැලිවේරිය කෙහෙල්කන්දේ පිහිටි “කුසුම් සදහම් සෙවණ“ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ය. මාස තුනක් තිස්සේ උන් වහන්සේ එම විහාරස්ථානය වසා දමා ඝාතනය වූ විහාරස්ථානයට පැමිණ රැඳී සිට ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ, රාගම සමූහ – කුසුම් හැන්නදි