ගාසා තීරයේ මිලියන 1.1 ක ජනතාවට පැය 24ක් තුළ වහාම ඉවත් වන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග

ගාසා තීරයේ මිලියන 1.1 ක ජනතාවට පැය 24ක් තුළ වහාම ඉවත් වන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග

ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බවට ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ.

ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

කෙසේ වෙතත්, එම තීරණය අවලංගු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉවත්විය යුතු ප්‍රමාණය සමස්ත ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් පමණ වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1ක පලස්තීනුවන් පිරිසක් ජීවත් වෙති. කෙටි කාලයක් තුළ ඔවුන්ට ගාසා තීරයේ දකුණු කොටසට යෑමට බල කිරීම මගින් මහා මානව ඛේදවාචකයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කර තිබේ.

ගාසා තීරයේ උතුරු කොටසේ පලස්තීනුවන් ඉවත් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇත්තේ, ඔවුන් එම කොටසට එල්ල කරන ප්‍රහාර වැඩි කිරීමට තීරණය කර ඇති බැවිනි.

මේ අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමාවේ සොල්දාදුවන්, බර කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන අහිංසක පලස්තීන වැසියන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට විරෝධය දැක්වීමට එකමුතු වෙන්නැයි හමාස් සංවිධානයේ හිටපු නායක කාලිඩ් මෂාල්, ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිගින් දිගටම අසාධාරණයට ලක් වන පලස්තීන වැසියන් වෙනුවෙන් ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට එකමුතු වෙන්නැයි ද හිටපු නායක කාලිඩ් මෂාල් පලස්තීනයේ අසල්වැසි මුස්ලිම් රටවලින් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට කටාර් රාජ්‍යයේ සිටින හිටපු හමාස් නායක මෂාල්, හමාස් සංවිධානයේ විදෙස් ඩයස්පෝරා කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් වැසියන් එකමුතු කිරීමට කාලිඩ් මෂාල් කළ ප්‍රකාශය ඉස්ලාමීය ජිහාද් අන්තවාදීන්ට කළ ආරාධනාවක් යැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share This