ගණේමුල්ල සංජීවගේ ඝාතන 12ක තොරතුරු එළියට

ගණේමුල්ල සංජීවගේ ඝාතන 12ක තොරතුරු එළියට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීවගෙන් මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක කරුණු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඔහුගේ මෙහෙයවීම මත සිදුකළ අපරාධ සිද්ධීන් 20ක් අනාවරණය කරගෙන ඇති අතර පුද්ගල ඝාතනවලට අමතරව වෙඩි තැබීම් සහ තුවාල කිරීම් ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අපරාධ කිහිපයක් සඳහා යොදාගත් විවිධ ගිනිඅවි කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

ගණේමුල්ල සංජීවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකසා දුන් කල්ලියේ සිව්දෙනකුද මෙම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවක්ද වන අතර ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන ගණේමුල්ල සංජීවට බලපත්‍රය සකසා දී ඇතැයි හෙළි වී තිබේ.

සේනාධීරගේ කරුණාවතී නමින් වූ කාන්තාවකට අයත් ගුවන් ගමන් බලපත්‍රයේ දෙවැනි පිටුව ඉවත් කර සේනාධීගේ කරුණාරත්න නමින් සැකසූ පිටුවක් ඊට ඇතුළත් කර ඇත. වැල්ලම්පිටියේ පදිංචි මොහොමඩ් රින්සාෆ් නමැත්තෙකු ඔහුගේ නිවසේ දී පරිගණක යොදාගෙන මෙම ගුවන් ගමන් බලපත්‍රයේ දෙවැනි පිටුව සකස් කර ඇත.

ආදම්බාවා බුහාරි ජවුෆර් නමැති කොළඹ පදිංචි කරුවකුට මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සැකසීමට රුපියල් ලක්ෂ විස්සක් හා සංජීවගේ ඡායාරූපයක් ලබා දී ඇත්තේ සංජීවගේ ගෝලයකු වන ඩුබායිහි සිටින ප්‍රසාද් නමැත්තෙකි.

ජවුෆර් නමැත්තා ව්‍යාජ ලෙස සකසා ගත් ගුවන් ගමන් බලපත්‍රය නේපාලයේ කත්මන්ඩු වෙත රැගෙන විත් ගණේමුල්ල සංජීවට ලබාදී තිබිණි.

ගණේමුල්ල සංජීවට ව්‍යාජ ගුවන් බලපත්‍ර සැකසූ අයුරින්ම සංජීවගේ මැදිහත්වීමෙන් කරන්දෙණියේ සුද්දා, කරන්දෙණියේ රාජු, බූස්සේ ජබ්බා, දිප්පිටිගොඩ ලහිරු, පැට්ටා මංජු, ලොකු ලහිරු, ආමි අසංක, හීනටියන සංක ඇතුළු දහඅටදෙනකු ඉන්දියාව හා ඩුබායි වෙත පැන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ඉන්දියාවේ සිට නේපාලයට ගොස් නේපාලයේදී එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන කටාර් වෙත ගිය පසුව ගණේමුල්ල සංජීව මෙම වසරේ සැප්තැම්බර් 06 වැනිදා යළි නේපාලයට පිටුවහල් කරන්නේ එරට ආගමන විගමන නිලධාරීන්ට හසුවීම නිසාය.

ඉකුත් සැප්තැම්බර් මස 13 වන දා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ගනේමුල්ල සංජීව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරිණි.

ඉන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත ඔහු වීරඟුල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණු අතර දැඩි ආරක්ෂාව මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

මේ අතර, ගනේමුල්ල සංජීව මෙම මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් බොහොමයක් තමා විසින් සිදුකළ බවට පිළිනොගෙන ඇති අතර විමර්ශන නිලධාරීන් පවසන්නේ ඔහුගේ මෙහෙයවීම මත ගෝලබාලයන් මෙම සිද්ධීන් සිදුකර ඇති බව ය.

මේ අතර, ගනේමුල්ල සංජීවගේ මෙම අපරාධවලට සම්බන්ධ ගෝලබාලයන් 18 දෙනෙකු ඔහු විසින් නීති විරෝධී අයුරින් විදෙස්ගත කරනු ලැබ ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.

මේ අතර, ඔහුට සහ ඔහුගේ බිරිය ඇතුළු පවුලේ අයගේ බැංකු ගිණුම් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.