රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයන් පැමිණීම සහ පිටවීම සදහන් කිරීමේදී මෙතෙක් සිදු කළ අක්‍රමිකතා මින් ඉදිරියට සිදු නොවීමට අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇත.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වැනිදා නිකුත් කෙරිණි.

කොවිඩ් වසංගතයත් සමග පසුගිය වසර කිහිපයේදී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබු අතර ඒ හරහා ඇතැම් සේවකයන් වාසි ලබා ගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් සේවකයන් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස සඳහන් කරනු ලබන්නේ උදෑසන අට යනුවෙනි.

එලෙස සඳහන් කර බොහොමයක් සේවකයන් අතිකාල දීමනා ලබා ගන්නා බවත් මෙම තත්ත්වය වැඩි වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

එම නිසා මින් ඉදිරියට එවැන්නක් සිදු නොවීම සඳහා අද සිට සියලුම රාජ්‍ය සේවකයන්ට මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා සඳහන් කළේය.

Share This