දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කරයි

දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කරයි

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටියේය.

ඒ අනුව, අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම අමාත්‍යවරු පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

Share This