ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ලොතරැයි මගින් මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ලොතරැයි මගින් මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ලොතරැයි ටිකට් පත් ලබාදී මුදල් වංචාකළ පුද්ගලයෙකු අල්ලා ගැනීමට වාරියපොල නගරයේ ලොතරැයි වෙළදුන් සමත්වූ බව වාරියපොල පොලිසිය පවසයි.

මෙසේ ව්‍යාජ ටිකට් පත් තුනක් ලොතරැයි කවුන්ටර් වලට ලබාදී මුදල් වංචාකර සිටියදී පසුගියදා (10) මෙම පුද්ගලයා පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.

පෙර දින දිනුම් අදින ලද අංක සහ ඉංග්‍රීසි අක්ෂරය සමග ගැලපෙන ලෙස මෙම ව්‍යාජ ටිකට් පත් මුද්‍රණය කර තිබිණ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “සුපර් බෝල්” නැමැති ටිකට් පතේ දිනුම් අංක දෙකක් සහ ඉංග්‍රීසි අක්ෂරය ගැළපෙන පරිදි සකස් කළ මෙම ටිකට් පත සදහා රුපියල් දෙදහසක ජයග්‍රාහී මුදලක් ජාවාරම්කරු විසින් ටිකට් කවුන්ටර් වලින් ලබාගෙන තිබිණ.

ජාවාරම්කරු මෙම ටිකට් පතක් ලබාදී ජයග්‍රාහී රුපියල් දෙදහසක මුදල ඉල්ලූ අවස්ථාවේ දී වාරියපොල නගරයේ එක් ලොතරැයි කවුන්ටරයක සිටි කාන්තාවකට අදාළ පුද්ගලයා ගැන සැකයක් ඇතිවූ බව ඇය පොලිසියට පවසා ඇත.

ඒ හේතුවෙන් මුදල් මාරුකිරිමට යන බව අදාල පුද්ගලයාට පවසා යාබදව තිබූ කවුන්ටරයක් වෙත ගොස් විමසීමේදී ඒ වනවිට ජාවාරම්කරු එම කවුන්ටරයටද ව්‍යාජ ටිකට් පතක් ලබාදී තිබූ බව ඇය කියයි.

එහිදී ටිකට් පත් දෙක සසදා බැලීමේදී එකම අංකය සහිත ටිකට් පත් වීම හේතුවෙන් පිරිස එක්ව ජාවාරම්කරු අල්ලාගෙන පොලිසියට බාරදීමට කටයුතු කර තිබිණ.

ජාවාරම්කරු සන්තකයේ තිබී තවත් එම අංකයම සහිත ටිකට් පත් තුනක් පොලිසිය විසින් කල පරීක්ෂාවකදී හමුවූ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධව පැමිණිලි තුනක් වාරියපොල පොලිසියට ලැබී ඇත.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ දඩුගම, ජා ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.

සැකකරු ඊයේ දිනයේදී වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.