දමිතා සහ සැමියා රිමාන්ඩ්

දමිතා සහ සැමියා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (05) දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්නට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබිණි.

පසුව ඔවුන් දෙදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අද දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.