ගිහියකුව සිටියදී කළ සොරකම් වලට දඬුවම් ඉල්ලා හිමිනමක් පොලිසියට

ගිහියකුව සිටියදී කළ සොරකම් වලට දඬුවම් ඉල්ලා හිමිනමක් පොලිසියට

ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු නොවූ බවත් එම සොරකම් වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂූන් වහන්සේ නමක් ගම්පහ, යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ (5) පැමිණ ප්‍රකාශයක් කළේ යැයි යක්කල පොලිසිය සඳහන් කරයි.

මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පැමිණියේ සිය මව ද කැටිව ය.භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම් වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂූන් වහන්සේ පවසන්නේ යැයි පොලිසිය කියයි.

ගිහියකුව සිටියදී තමන් කළසොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වදදෙන බවත් සොරකම් වලට දඬුවම් විඳ හිතට සහනයක් සැනසිල්ලක් ලබා ගත යුතු නිසා පොලිසියට බාර වීමට තීරණය කර මේ බව මවට ද පවසා ඇය ද සමග පොලිසියට පැමිණි බවත් මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පවසා තිබේ.

සිදු කරන ලද සොරකම් වලට දඬුවම් ලැබ නිදහස ලබා පැමිණි පසු නිදහසේ නිවී සැනසිල්ලේ බණ භාවනා කරමින් මහණ දම් පුරා සසරින් එතෙර විය හැකි බව ද මෙම තරුණ භික්ෂූන් වහන්සේ පොලිස් නිලධාරීන් සමග පවසා ඇති බව දැනගැනීමට ඇත.

ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටියදී ගිහි ජීවිතය ගැන කලකිරි මහණ වී ඇති මෙම භික්ෂූන් වහන්සේ දඹුල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම භික්ෂූන් වහන්සේගේ ගිහි නම ද පොලිස් නිලධාරීන් සමග පවසා ගිහියකුව සිටියදී සිදු කරන ලදැයි කියන එම සොරකම් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි කර ඇතැයි පැවැසේ.

මීට වසර අටකට පමණ ඉහතදී ගිහියකුව සිටියදී මෙම භික්ෂූන් වහන්සේ විසින් සිදු කරන ලදැයි කියන සොරකම්වල විස්තර තහවුරු කර ගැනීම සඳහා මෙම භික්ෂූන් වහන්සේ පොලිස් භාරයේ තබාගෙන පැරණි පොලිස් පොත් පත් එකිනෙක පරීක්ෂා කිරීම ආරම්භ කරන ලදැයි පොලිසිය කියයි.