ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (19) සිදුකළ ප්‍රකාශය ද්වේශ සහගත, පදනම් විරහිත චෝදනාවක් බවත්, ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙමඟින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අදාළව විභාග වෙමින් පවතින සහ මතුවෙමින් පවතින කරුණු කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් මහජනයා උසිගැන්වීම සඳහා සැලසුම් කර තිබූ බවක් පෙනෙන්නට ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොනු කර ඇති පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොනුකර ඇති පෙත්සම ඉකුත් 16 වැනිදා අභියාචනාධිකරණය හමුවේ අවසන් වරට කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සම සලකා බැලීමෙන් තෙවන වරටත් විනිසුරුවරයෙක් ඉවත් වුණි.

අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන නව විනිසුරු මඩුල්ල පත් කරනු ලැබීය.