මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් මුදල් කමිටුවට කැඳවයි

මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් මුදල් කමිටුවට කැඳවයි

කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කැඳවා ප්‍රශ්න කර තිබේ.

කැසිනෝ නියාමන අධිකාරියක් කඩිනමින් පිහිටවන බවට එකඟ වී ඇතත් එය පිහිටුවීම ප්‍රමාද කර තිබූ බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම අහිමි වූ මිලියන ගණනක ආදායම නැවත ලබා ගැනීමට මෙම ආයතනය කඩිනමින් පිහිටුවීම වැදගත් බව කාරක සභාව පෙන්වා දුන්නේය.

රෙගුලාසි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජයට සැලකිය යුතු අලාභයක් සිදුවන බව සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පැවසූහ.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවේ සිංගප්පූරුවට සමාන ශක්තිමත් ආදායම් ආකෘතියක් ගොඩනැගීම සඳහා අමතර විශේෂඥතාවක් අවශ්‍ය බවයි.

භෞතිකව හා මාර්ග ගතව පවත්වාගෙන යන කැසිනෝ පිළිබඳ විස්තර සපයන ලෙස කමිටුව එම අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. එසේම හිඟ බදු මුදල් අය කර ගැනීමට යෝජිත සැලැස්මක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දුන්නේය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. එය නව සභා වාරයේ පළමු රැස්වීම විය.

Share This