ඉන්දීය ජනප්‍රිය නිළි මල්ලිකා රාජ්පුත් සියදිවි නසාගනී

ඉන්දීය ජනප්‍රිය නිළි මල්ලිකා රාජ්පුත් සියදිවි නසාගනී

ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වූ මල්ලිකා රාජ්පුත්, සිය නිවස තුළ ම සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ඊයේ (13) සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

35 හැවිරිදි ඇගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා වන අතර දේහය සුල්තාන්පූර් හි සිටකුන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී තිබියදී සොයාගෙන ඇති බව‍යි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මල්ලිකාගේ හදිසි වියෝව ආශ්‍රිත තත්ත්වයන් අපහැදිලි බවයි, ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.

ඇයගේ මව වන සුමිත්‍රා සිංගේ අනාවරණයන්ට අනුව පවුලේ පිරිස් නිදා සිටි බැවින් මල්ලිකාගේ මරණය කෙසේ සිදුවූවාද යන්න නොදන්නා බව සඳහන් වේ.

”කලින් දොර වැහුවා… ලයිට් දාලා තිබුණෙ…

අපි දොර අරින්න හැදුවත් බැරි වුණා. අන්තිමට මම ජනේලයෙන් බැලුවා.

එතකොට ඇය කාමරයේ හිටගෙන ඉන්නවා වගේ දැක්කා.

අපේ දුව ගෙල වැළලාගෙන !! පස්සෙ මම මගේ සැමියාටත් අනෙක් අයටත් කතා කළා…”

ඉන්දීය වාර්තාවන්ට අනුව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ඇගේ මරණය මූලික වශයෙන් සියදිවි නසාගැනීමක් යැයි සැකපල කරන බවයි.

කෙසේ නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මරණයට නිශ්චිත හේතුව දැනගත හැකි වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ.

මල්ලිකා රාජ්පුත් 2014 වසරේ Kangana Ranaut රඟපෑ Revolver Rani චිත්‍රපටයේ සහාය නිලියක් ලෙසින් රංගනයෙන් දායක වී තිබේ.

එමෙන් ම ඇය Yaara Tujhe ගීතයේ මියුසික් වීඩියෝව සඳහාද තම දායකත්වය සපයා ඇති අතර ඇය 2016 දී භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වූ බවයි වාර්තා වෙන්නේ.

නමුත් වසර දෙකකින් පසුව ඇය දේශපාලනයෙන් ඉවත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇය මෙලෙස විනෝදාස්වාද කර්මාන්තයෙන් සහ දේශපාලන භූමිකාවෙන් කෙටි කලකින් ඉවත් වූ පසු අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වූ බවයි.