කෝටි 20 ක කොකේන් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කෝටි 20 ක කොකේන් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි.

ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් ද සගවා ගෙන රැගෙන විත් තිබුණි .

ඇයට සිය යෙහෙළියක් මගින් මෙම ගුවන් ගමන සම්බධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සදහා ඇමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් ද , ඊට අමතරව මෙම ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම් ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාලා හිමිකරුවන් පොරොන්දු වී ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි .

එසේම මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද මේ ආකාරයට කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සගවා ගෙන රැගෙන ගොස් ඇති බව රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබේ .