ජාතික රෝහලේ එන්නතක් විස වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ජාතික රෝහලේ එන්නතක් විස වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් අසාත්මිකවීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

Cefuroxime නම් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමත් සමඟ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයාගේ මරණය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ප්‍රතිජීවක ඖෂධය ලබාදීම හේතුවෙන් එම මරණය සිදුවී ඇත් ද එසේත් නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපා ඇත් ද යන්න පිළිබඳ එහිදී අනාවරණය කරගත හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මියගිය රෝගියාට ලබාදුන් බව කියන ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.