ත්‍රිකුණාමලය බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරීම් සඳහා අවසර හිමිවෙයි

ත්‍රිකුණාමලය බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරීම් සඳහා අවසර හිමිවෙයි

බොරළු කන්ද පුරාණ රජ මහා විහාරයේ ඉදිකිරීම් සහ පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම් වලක්වා ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් පී. දනේෂ්වරන් විසින් පසුගිය ජූලි මස 09 වැනිදා දාතමින් යුතුව ලිඛිතව පනවා තිබූ තහනම අවලංගු කර තිබේ.

අද (28) දිස්ත්‍රික් ලේකම්වරයාත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොන්ඩමන් ඇතුළු දේශපාලන අධිකාරියත් විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කිරීමෙන් පසු නැවත ඉදිකිරීම් සඳහා අවශ්‍ය අවසරය ලබා දුන් බව ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තහනමට එරෙහිව අවස්ථා කීපයක දී බෞද්ධ භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධය පැන නැගිනි.

එමෙන්ම පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික හා බුද්ධ ශාසන ඇමති විදුර වික්‍රමනායක ප්‍රකාශකළේ ආණ්ඩුකාරවරයාගේ තීරණය රජය පිළිනොගන්නා බවත් බොරළුකන්ද විහාරයේ ඉදිකිරීම් කරගෙන යා හැකි බවත්ය.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත යැවූ ලිපියට විරෝධය දක්වමින් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද (28) ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වැඩම කළ හිමිවරුන්ට එහි ප්‍රවේශවීමට ඉඩ නොදීම නිසා එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

හිමිවරු මහනුවර ත්‍රීකුණාමලය මාර්ගය හරස් කොට විරෝධතාවයක නිරත වූහ. ඒ අතර භික්ෂු නියෝජිත පිරිසකට සාකච්ඡාවක් සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ආරාධනාවක් ලැබිණි.

එම සාකච්ඡාවේදී මෙම ඉදිකිරීම් අනුමැතිය ලබා දී තිබුණ බව ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේය.

බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරිම් අත්හිටුවමින් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යැවූ ලිපිය

කෙසේ වෙතත් රජයේ මතය වී තිබුණේත් ත්‍රී කුණාමලය පෙරියකුලම් ඉලුප්පකුලම් හි පිහිටා ඇති බොරළුකන්ද පුරාණ රජ මහා විහාරය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇති බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් හෙයින් එහි සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑම ගැටලුවක් නොවන බවය.

Share This