අධිබලැති යතුරුපැදි ලියාපදිංචියට අවසර ?

අධිබලැති යතුරුපැදි ලියාපදිංචියට අවසර ?

එන්ජින් ධාරිතාව 450 ඉක්ම වූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා පත්‍රිකා සකස් කරමින් ඇති බවයි.

කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යතුරුපැදි ලියාපංදියට අදාළ කටයුතු කඩිනමින් සිදුකිරිමට අපේක්ෂා කරන බවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ලියාපදිංචි නොවී ඇති වාහන විවිධ අපරාධ සඳහා යොදා ගැනීමෙන්, විමර්ශනවලදී මතුවන බාධා අවම කරගැනීම ඇතුළු කරුණු සලකා මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර අධි බල එංජින් ධාරිත්වයෙන් යුත් යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබා දීමට රජය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

රටේ තරුණයන්ගේ ඉල්ලීමකට සවන් දෙමින් එම තීරණය ගත් ජනාධිපතිවරයාට, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ ප්‍රවාහන අමාත්‍යවරයාට ස්තුතිවන්ත වන බවද එහි දක්වා තිබෙනවා.

එමෙන්ම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සිය ෆේස් බුක් සටහනේ දක්වා ඇත්තේ.

එංජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයේ සිට 1,300 සීසී කාණ්ඩය දක්වා වන යතුරුපැදි ලියාපදිංචියට විශේෂ නීති යටතේ අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවට යෝජනාවක්ද ඉදිරිපත් කළා.

Share This