වීඩියෝවක් ලීක් කරන බව පවසා මිහින්තලේ නාහිමිගෙන් කෝටියක කප්පමක් ඉල්ලලා

වීඩියෝවක් ලීක් කරන බව පවසා මිහින්තලේ නාහිමිගෙන් කෝටියක කප්පමක් ඉල්ලලා

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

පහුගිය පලවෙනිදා වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට නම් තමන්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන් කරමින් විහාරාධිපති හිමියන් පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන්ගේ යැයි පැවසෙන හඬ පටයක් හා වීඩියෝ පටයක් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයකුගේ නමින් ඇති මුහුණු පොතේ පළ කර පසුගිය දෙවැනි දා ඒවා ඉවත් කර ගෙන ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.

පියුමි දුලීකා නම් කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම කාන්තාවගේ නම ද විහාරාධිපති හිමියන් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයා සහ මෙම කාන්තාව ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Share This