ඕස්ට්‍රේලියාවේදී භූතාන ජාතික තරුණියක් ඝාතනයකට ලාංකික තරුණයෙක් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේදී භූතාන ජාතික තරුණියක් ඝාතනයකට ලාංකික තරුණයෙක් අත්අඩංගුවට

කැන්බරා ජාතික සත්වෝද්‍යානය සහ මින් මැදුර භූමියේ ජමාලා වනජීවී ලැගුම්හලේ මුළුතැන් ගෙය පිටුපස ගබඩා කාමරයක් තුළ 29 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ.

මෙසේ මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත්තේ 29 හැවිරිදි ජූඩ් විජේසිංහ නැමති සූපවේදියෙක් වෙතය. ඔහු විසින් ඝාතනය කර ඇත්තේ ඔහු සමග සේවය කරමින් සිටි භූතාන ජාතික ෂෙවාන්ග් චෝඩන් නැමැති කාන්තාවකි. භූතාන තානාපති කාර්යාලය ඇයගේ මරණය තහවුරු කර තිබිණි.

ජූඩ් විජේසිංහ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ දා සිට සූපවේදියෙකු ලෙස ඕස්ට්‍රේලියාව පුරා සේවය කර ඇති බවත් ඔහු කැන්බරා ජාතික සත්වෝද්‍යානය සහ මින්මැදුරහි කොටසක් වන ජමාලා වනජීවී ලැගුම්හලේ සුපවේදීයෙක් ලෙස කටයුතු කළ බවත් හෙළි වී ඇත.

සඳුදා දහවල් 12:50 ට පමණ හදිසි සේවා අංශයෙන් විශාල ශබ්දයකින් කරන කෑගැසීමක් නිරීක්ෂණය කර ඇති අතර ඒ වෙත ගොස් බලද්දී සත්වෝද්‍යානයේ වාණිජ මුළුතැන්ගෙය අසල ගබඩා කාමරයක් තුළ චෝඩන් මරා දමා ඇති ආකාරය දැක ඇත. හදිසි සේවා අංශය වහාම සත්වෝද්‍යානය වෙත පොලිසිය කැඳවා ඇත.

29 හැවිරිදි ජූඩ් විජේසිංහට තමන් විසින් ඇති කරගත් තුවාල දක්නට ලැබුණු බවත් ඔහු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන කැන්බරා රෝහල වෙත ගෙන යන ලද බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු අගනුවර පොලිස් සේවය පැවසුවේ, ජුඩ් විජේසිංහ සහ ඔහු අතින් ඝාතනයට ලක් වූ භූතාන ජාතික ෂෙවාන්ග් චෝඩන් යන දෙදෙනාම කැන්බරා ජාතික සත්වෝද්‍යානයේ සේවකයින් බවය.

රැකියාවෙන් පිට ඔවුන් දෙදෙනාගේ වෙනත් සබඳතාවක් තිබුණේ දැයි නොදන්නා බවද පොලිසිය පවසයි.

ඔස්ට්‍රේලියානු අගනුවර පොලිස් සේවයේ අපරාධ විමර්ශන අංශ රහස් පරීක්ෂක ඒකකය පවසා තිබුණේ ඉදිරි දිනවලදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කාන්තාවගේ මරණයට හේතුව තහවුරු වනු ඇති නමුත් “මේ වනවිට කිව හැක්කේ ඇය පිහියකින් ඇන ඝාතනය කර ඇති” බවය. සිද්ධිය වූ ස්ථානයේ තිබී කාන්තාව ඝාතනය කළ පිහිය හමුවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැන්බරා රෝහලේ රෝහල් ඇඳ අසල සිදුකළ නඩු විභාගයේ දි ජූඩ් විජේසිංහට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති අතර ඔහු එම චෝදනාවට නිවැරදි කරු බව ප්‍රකාශ කර ඇත.

ACT පොලිස් ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කැන්බරා රෝහලේ ඇඳ අසල පැවති නඩු විභාගයකදී විජේසිංහ මහතාට මිනීමැරුම් චෝදනාවක් එල්ල වූ බවයි.

විජේසිංහ මහතා එම ඝාතන චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇත.

වින්දිත කාන්තාව සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන ඔස්ට්‍රේලියාවේ භූතාන කොන්සියුලර් අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, බෙහෙවින් ශෝක ජනක මේ මෙහොතේ භූතාන ප්‍රජාවේ සහ වින්දිත තරුණියගේ පවුලේ අය වෙනුවෙන් ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවය.