උ.පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අයදුම්පත් භාර ගැනීම අවසන් වන දිනය

උ.පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අයදුම්පත් භාර ගැනීම අවසන් වන දිනය

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් උපදෙස් පරිදි එම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව, දිවයිනේ අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

2022 (2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk, ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත 2023 දෙසැම්බර් 22 වනදාට පෙර භාරදීමට කටයුතු කළ යුතුයි.

වලංගු කාල සිමාව නැවත දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් දෙසැම්බර් 22 දිනට හෝ ඊට පෙර අයදුම්පත් භාරදීමට කටයුතු කරන ලෙස සුදුසුකම් සපිරු සියළු දරු දැරියන්ගෙන් ජනාධිපති අරමුදල ඉල්ලා සිටී.