පිඹුරත්තෑව ජලාශයේ ස්ථාන කිහිපයකින් වාන් දොරටුව පුපුරා විනාශයක් අත ලඟ!

පිඹුරත්තෑව ජලාශයේ ස්ථාන කිහිපයකින් වාන් දොරටුව පුපුරා විනාශයක් අත ලඟ!

පොළොන්නරුව මහවැලි බී කලාපයේ මාදුරුඔයට පමණක් දෙවැනි වන දැවැන්තම ජලාශය වූ පිඹුරත්තෑව ජලාශයේ මෑතකදීම ඉදිකරන ලද දිගින් විශාලතම වාන් දොරටුවේ ස්ථාන කීපයක පිපිරීම් ඇති වී බරපතල අවදානමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

එම පිපිරුම් ස්ථානවලින් විශාල වශයෙන් ජලය පිටවෙමින් ඇති බවත් කොන්ක්‍රීට් වේල්ල කඩාගෙන ගියහොත් විශාල විනාශයක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවත් පිඹුරත්තෑව ගොවි සංවිධාන නියෝජිතවරු පවසයි.

V හැඩයෙන් යුක්ත මෙම කොන්ක්‍රීට් වේල්ල ස්ථාන කිහිපයකින් පුපුරා ඇති අතර කොන්ක්‍රීට් දියවීම හේතුවෙන් එම ස්ථාන වලින් ජල කඳක් කාන්දු වී යන අතර එම ස්ථාන කැඩී බිඳී වේල්ල කඩාගෙන ගියහොත් 503 කලාපයේ කුඹුරු යාය මෙන්ම අරලගංවිල නගරය සහ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී විශාල විනාශයක් සිදුවිමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය පිඹුරත්තෑව ජලාශයේ මෑතකදීම ඉදිකරන ලද දිගින් විශාලතම වේල්ල අලංකාර අයුරින් නිර්මාණය කිරීමෙන් පසුව පිටාර ගලන ජල කඳ නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දෙස් විදෙස් සංචාරකයෝ පැමිණියහ.

මේ පිළිබඳව ‍ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමණාකාර සුගත් වීරසිංහගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.