ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල ලාංකිකයන් 41ක් දිවයිනට

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල ලාංකිකයන් 41ක් දිවයිනට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු , එරටින් පිටුවහල් කර , විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (09) උදෑසන එවා තිබුණි .

ඔවුන් ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි.- 013 දරන ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් ගමන් ආරම්භ කර අද උදෑසන 09.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර , ඔවුන් ඕස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු තරණය කර ගමන් කර ඇති බව අනාවරණය කර ගෙන තිබේ .

මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

ඉන්පසුව ජාතික බුද්ධි තොරතුරු අංශය විසින් ද විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව , මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .