මැර ප්‍රහාරයක් නිසා වැහෙන්න ගිය ඇඟලුම් කම්හල යළි පවත්වාගෙන යෑමට එකඟත්වය

මැර ප්‍රහාරයක් නිසා වැහෙන්න ගිය ඇඟලුම් කම්හල යළි පවත්වාගෙන යෑමට එකඟත්වය

මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමා රටින් පිටව යාමට සූදානම්ව සිටී කටාන හල්පේ අල් ඔබේදාන් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු එය නැවතත් පවත්වාගෙන යාමට එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බලධාරීන් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කළමනාකාරිත්වය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු එය වසා නොදැමීමට එකඟ වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (09) පෙරවරුවේ මහනුවර දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය .

ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා විශේෂ කාර්යය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය .

පසුගිය මාර්තු මස 30 වැනි දින එම කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කීප දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව එහි හිමිකරු එම ආයෝජනය හමාර කොට රටින් පිටව යාමට තීරණය කොට තිබුණි .

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමා මැදිහත්ව එම කර්මාන්තශාලාවට පොලිස් මුරපොළක් හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට එකග වු බවයි .

එහෙත් තවදුරටත් එම ඇඟලුම් ආයතනය කටාන ප්‍රදේශයේ පවත්වාගෙන යාමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙස එහි හිමිකරු ඉල්ලීමක් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඕනෑම කර්මාන්ත කලාපයක හෝ ආයෝජන කලාපයක කර්මාන්ත ශාලාව ඉදි කර ගැනීම සඳහා නොමිලයේ ඉඩමක් ලබා දීමට සූදානම් බවට කර්මාන්තශාලාවේ හිමිකරුට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය .

Share This