අස්වැසුමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය

අස්වැසුමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බවයි, ඔහු සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එහිදී අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියෙකු පත් කිරීමටද එකඟතාව පළ වූ බව ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ සමග අස්වැසුම සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් විසඳාගෙන ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වාදෙන්නේ.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදෙනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This