පාසල් සිසුන් 4 දෙනෙකු මත් කර අපයෝජනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අලුත්ගම සංචාරක නිකේතනයක දී අවස්ථා ගණනාවක අධි සැර මත්වතුර පානයට දී පාසල් සිසුන් 4 දෙනෙකු අපයෝජනය කළ සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු අද (07) දින අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 14, 15, 16 වයස් වල පසුවන සිසුන් හතර දෙනා අධ්‍යාපනය ලබන පාසලේ පන්තිභාර ගුරුවරුන් සහ විදුහල්පතිවරයා විසින් අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසුන් හතර දෙනා සහ සැකකරුවන් දෙදෙනා කලක පටන් මුහුණු පොත හරහා ටික්ටොක්, ඇසුරක් මගින් හඳුනාගෙන විටින් විට අවස්ථා ගණනාවක අලුත්ගම ගඟබඩ පාරේ සංචාරක නිකේතනයක් තුළට ගෙන්වා සැර මත් වතුර බොන්නට දී මත් වූ පසු සිසුන්ට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බව වින්දිත සිසුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

පාසලේ විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට මෙම සිසුන් පිළිබඳ දැනුනු වෙනස්කම පිළිබඳ අවධානය යොමුකර සිසුන්ගෙන් කරුණු විමසීමේදී මේ බව සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව, පොලිසිය ඊට සම්බන්ධ 45,හා 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අලුත්ගමදී අත්අඩංගුවට ගෙන ඔවුන් සතු ස්මාට් ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී එහි තිබූ වීඩියෝ දර්ශන වල මෙම සිසුන් ද සිටින බව පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිව තිබේ.

සිසුන් හතර දෙනා දෙමව්පියන් මගින් පොලිසියට කැඳවා තිබෙන අතර පසුව ඔවුන් සියලු දේ පොලිසියට පවසා තිබේ.

ඇතැම් දිනවල මෙම සිසුන් පාසලේ පන්ති කට් කර සැකකරුවන් සමග ඇසුරට ගොස් තිබෙන බවත් අනාවරණය කරගෙන තිබේ.

මින් සිසුන් තිදෙනෙකු අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනිත් සිසුවා බෙන්තොට පොලිස් වසමේ පදිංචිකරුවෙකු ද වෙයි.

පොලිස් භාරයේ පසුවන සිසුන් හතර දෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමට කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

Share This