මිහින්තලේ නායක හිමිගෙන් රජයට දොස් මුරයක්

මිහින්තලේ නායක හිමිගෙන් රජයට දොස් මුරයක්

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ (21) පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ, මෙවර පැවැත්වෙන පොසොන් උත්සවය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, උතුරු මැද වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු නිලධාරින් සමග මිහින්තලා පුද බිමෙහි දී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

දින දහයකින් පමණ උදාවන රාජ්‍යය පොසොන් සතිය සඳහා මේ වන තෙක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය , සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම උතුරු මැද පළාතේ ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මගහැර ඇතැයි නායක හිමියන් පැවැසූහ.

මෙහිදී උතුරුමැද වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේ ජනාධිපති වරයාගේ මූල්‍ය කළමනාකරණයට අනුව මෙවර පොසොන් උත්සවය සැමරීමට කටයුතු කළ යුතු බවත්ය. මධ්‍යම පළාතේ පැවති වෙසක් උත්සවය සඳහා සත පහක මුදලක් වත් රජයෙන් ලබා නොගත් බව පැවසීමෙන් පසු එම සාකච්ඡාව තරමක් උණුසුම් තත්ත්වයක් ඇති වූහ.

මෙහිදී ප්‍රථමයෙන් අදහස් දැක්වූ ඓතිහාසික මිහින්තලා රජ මහ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්.

“පොසොන් උත්සවය කියන්නේ අපේ සංස්කෘතියේ ආරම්භක පෝය, මීට වසර 2331කට පෙර අපේ රටේ සිස්ටම් එක චේන්ජ් උනේ මෙතැනින්, මිථ්‍යාදෘෂ්ටිකයන් සම්‍යක් දෘෂ්ටික යන් බවට පත් කලේ මිහිඳු මහරහතන් වහන්සේ,

මේ පොසොන් පිංකමේ සභාපති වරයා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එතුමාට පුළුවන් දේ කරලා තියෙනවා, ඒ සීමාවෙන් එහාට එතුමට යන්න බෑ. පොසොන් පොහොයට තව දින 10යි. හැබැයි අද වෙනතුරු දිසාපතිවරයා ඇරෙන්න කිසිදු විධායක නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් රැස්වීමට සහභාගි වෙලා කතා කරලා නෑ. මග ඇරලා තියෙන්නෙ. උතුරු මැද ආණ්ඩුකාර කාර්යාලයේ නියෝජිත හෝ උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් හෝ කිසිදු කෙනෙක් පැමිණ නැහැ. පොසොන් සතිය 31 පටන් ගන්නවා. පොසොන් සති පිරිත 25 පටන් ගන්නවා.

ලක්ෂ 20ක පමණ ජනතාවක් මෙවර පොසොන් පෝයට පැමිණෙනවා. එත කොට ඒ අයගේ සනීපාරක්ෂාව, ආරක්ෂාව වගේම ජල විදුලිය අත්‍ය අවශ්‍ය වනවා.

රජයේ නිදහස් උත්සවය, ජනරජ පෙරහැර , බක්මහ උළෙල උත්සවාකාරයෙන් කලා, වෙසක් උත්සවය කලා එය අනිවාර්යයෙන් කළ යුතුයි, රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත් දිනය සැමරුවා එයත් කළ යුතුයි.

ජය ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වෙහෙර විහාරස්ථාන සියල්ල ඉදි වුණේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය නිසයි. රටේ ජනතාව ඒ උත්තමයා වෙනුවෙන් පෙළ ගැසෙන කොට රටේ නායකයෝ එය මග අරිනවා”

මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා හරි අද මෙතනට පැමිණිය එක ගැන සතුටු මම සතුටු වෙනවා. මේ පළාත් ඉන්න එඋන්ට පින නෑ මේවට සම්බන්ධ වෙන්න, ඒ අය වෛරයෙන් ඉන්නේ”

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ උතුරු මැද පළාත් වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා.

“අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සෙ අද මේ රටේ තියෙන බෞද්ධ සංස්කෘතිය ඇති වුණා කියන කාරණාව, එය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම.

අද මම මෙම ස්ථානයට පැමිණියේ පෞද්ගලිකව ඔබ වහන්සේ මුණ ගැහිලා මගේ ඇමරිකා ඉන්න දියණිය ඇතුළු ඇමරිකාවේ දායක දායිකාවන් මිහින්තලා රජමහා විහාරස්ථානයට කළ දායකත්වය, එහි සංවර්ධන කටයුතු විමසීම සඳහායි.

දවස් 20ක් සදහා මාව ජනාධිපතිවරයා විසින් වැඩ බලන උතුරු මැද ආණ්ඩුමැද ආණ්ඩුකාරවරයා ලෙස පත් කරල තියෙනවා. ඒ නිසා මගේ යුතුකමක් වගකීමක් මිහින්තලය රජමහා විහාරස්ථානයේ පොසොන් උත්සවය මොන ආකාරයෙන් පවත්වනවා ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම.

අපි මධ්‍යම පළාතේ වෙසක් උත්සවය සාර්ථකව නිම කළා, මෙවර වෙසක් උත්සවය සංවිධානය කරලා සැමරුවා. හැබැයි අපි එක ශත පහක් වත් රජයේ වියදම් කළේ නැහැ. සම්පූර්ණ වියදම අපි දරා ගත්තා පිටස්තර දානපතියන් ගෙන් සහ අන්‍යාගමික සිද්ධස්ථානවල සිට ඒ සියලු දෙනාගෙන්, ඒ අය දායකත්වය ලබා දුන්නා. මොකද අපි රජයේ අපහසු තාවයට පත් වෙලා ඉන්න අවස්ථාවක ආර්ථික අපහසුතාවක් තියන අවස්ථාවක ගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා රාජ්‍ය මුදල් කළමනාකරණය කර ගෙන අපේ කටයුතු කරන්න කියලා.

පළමු කාරණය තමයි රට වැටිල තියෙන මේ අර්බුදයෙන් ගොඩ දාලා රට ගොඩ ගැනීම. රට අර්බුදයෙන් මුදවා ගත්තේ නැත්නම් අපේ හාමුදුරුවනේ අපට මේ කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ . ජනාධිපති තුමාගේ පළමු කාරණාව තමයි අපි එළඹෙන පොසොන් උත්සවය ජනතාව වෙනුවෙන් ඉතා හොඳින් පැවැත්වීම එය අපේ වගකීමක්”

ආණ්ඩුකාරවරයාගේ එම කතාවෙන් පසුව යළි අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් මෙසේ පැවසූහ.

“මූල්‍ය කළමනාකරණය හොඳයි, 1948 වසරේ සිට මූල්‍ය කළමනාකරණය කර ගත්තෙ නැති නිසා තමයි මේ හෙනය පත්තු වෙලා තියෙන්නෙ, මේ පොසොන් උත්සවයට කෝටි ගාණක් යන්නේ නැහැ. මේ භූමිය අක්කර එකක්, දෙකක් තියන භූමියක් නෙමෙයි, අක්කර දහස් ගණනක් තියෙනවා, අඩුම මනුස්සයෙක් අතරමං නොවෙන්න නම් ශබ්ද විකාශන යන්ත්‍ර දෙසීයක් දාන්න ඕනේ, මිනිස්සු මේ පුදබිම් වැඳ පුදා ගන්න හරි අමාරුවෙන් එන්නෙ, රථ ගාල් වලින් මුදල් අය කරන්න එපා කියලා අපි දැනුම් දීලා තිබෙනවා, ජනතාවගේ සල්ලි වුනත් මූල්‍ය කළමනාකරණයක් කරන්න ඕනේ.

ඔබතුමා කිව්ව වෙසක් උත්සවයට සත පහක් වත් රජයෙන් ලබා ගත්තේ නැහැ කියලා. ඒ මුදල් අන්‍යාගමික අය පවා ලබා දුන්න කියලා, අපිත් මාධ්‍ය හරහා පණිවිඩයක් යවමු ලෝකෙ ඉන්න අන්‍යාගමිකයන් අයට මේවා මාධ්‍යයෙන් පරිවර්තනය කරලා දාන්න ආධාරයක් ලබා දෙන්න කියලා.

ඔබතුමා ගේ බිරිඳ දියණිය මේ විහාරස්ථානයට ලක්ෂ ගණනක උදව් උපකාර කරලා තිබෙනවා. ඒත් අද මම මේ කතා කරන්නේ ඔබතුමාට සිදු කළ කතාවට සහ රජයේ ප්‍රධාන නියෝජිතයෙක් ලෙස සලකලා.

ඔබතුමා කිව්වා දානපතියන් ගෙන් මුදල් රැස් කළා කියලා, ඒත් මහනුවර වගේ කර්මාන්තශාලා මෙහෙ නැහැ, මිහිඳු මහරහතන් වහන්සේ කොළඹට වැඩිය නම් උත්කර්ෂවත් පොසොන් උත්සවයක් කරන්න තිබුණා. ඒ කොළඹ දානපතියන් ගෙන් මුදල් එකතු කරලා, මේ අනුරාධපුර, නුවර කලාවියේ ඉන්නේ තුන්වේල කන්න බැරි දුප්පත් මිනිස්සු ” යැයි පැවසූහ.